top of page

03. පසේ බුදුවරු

නමො තෙ බුද්ධ වීරත්ථු - විප්පමුත්තොසි සබ්බධි


ලොව පහළ වන උතුමන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම උතුමන් වහන්සේ බවට පත්වන්නේ දස පාරමී දම් අඩු නැතිව පූරණය කොට සර්වඥතාඥාණයෙන් ද, යමාමහ පෙළහරින් ද අවබෝධයෙනුත් සෘර්ධියෙනුත් ලොවම ආවරණය කළ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ය.


ඒ බව භාග්‍යවත් අප තථාගතයාණන් වහන්සේ විසින් ම “මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ පා සතරක් ඇත්තාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ, රූප ඇත්තාවූ හෝ රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ සංඥා නැත්තාවූ හෝ, භවාග්‍රයෙහි ඉපදුනාවූ හෝ යම්තාක් සත්ත්වයෝ ඇත්තාහුද, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ ” යැයි පාලියේ “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා (දිපදා (සී. පී.) අ. නි. 5.32; ඉතිවු. 90) වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤිනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො” යැයි දක්වනු ලැබී ය.



එය එසේම ය. කිසිම ආකරයකින් තථාගතයන් වහන්සේ හා සමාන රත්නයක් නොමැත. එහෙයින්ම “න නො සමං අත්ථි තථාගතෙන” යන්න රතන සූත්‍රයේදී ද දක්වනු ලැබී ය.


නමුත් යම් තැනක ගුණ මහත්වයෙන් තථාගතවරු ඉහළම තබා කථා කෙරේ ද, ඊට පමණක් දෙවැනි වන ලෝක ධාතුවේ වඩාත් සියුම් නුවණකින් යුත් උතුමන් වහන්සේ නමක් පැණවිය හැක්කේ නම් ඒ ප්‍රත්‍යේක බුද්ධ පාරමිතාව අඩු නැතිව පුරා පරෝපදේශ රහිතව ප්‍රත්‍යේක බුද්ධත්වයට පැමිණ සංසාර ගමන නිම කරන පසේ බුදුරජාණන් වහන්සේ ය.


එයට තේරුම් ගැනීමට රතන ඇසුරෙන් කරුණක් දක්වන්නෙමි. රතනය යනු ගෞරව කළ යුතු, ඉතා වටිනා, අනිකකට සමාන කළ නොහැකි, දුර්ලභ දර්ශණ ඇති, උසස් සත්වයන් විසින් පරිභෝග කරනා යම් කිසිවකි. එය ද අවිඥානක සහ සවිඥානක වශයෙන් දෙකක් වේ.


මේ අතුරින් අවිඥානක බවට පත්වන රතනයෝ නම් චක්‍රරත්නයල මණිරතනය මෙන් වූ වෙනත් ඉන්ද්‍රීය බද්ධ නොවූ රන් රිදී ආදියෝ ය.


හස්ති රතනය, අශ්ව රතනය, ස්ත්‍රී රතනය, ගෘහපති රතනය, පරිනායක රතනය වැනි ඉන්ද්‍රීය බද්ධ රතනයෝ යම් තැනක වෙත් නම් ඒවා සවිඥානක රතනයෝ වෙති.


මෙසේ මේ ආකාර රතනයන් අතුරින් සවිඥානක රතනය උතුම් වේ. කුමක් හෙයින් ද යත් අවිඥානක වූ රන්, රිදී, මැණික්, මුතු ආදී රතනයෝ සවිඥානක හස්ති රතනාදීන්ගේ අලංකාරය සඳහාම එළවන බැවිනි. මෙසේ සවිඥානක රතනයෝ ද තිරිසන් සහ මනුෂ්‍ය වශයෙන් බෙදෙන අතර මනුෂ්‍ය රතනය අග්‍ර වේ. මනුෂ්‍ය රතනය ද නැවත ස්ත්‍රී සහ පුරුෂ වශයෙන් බෙදෙන අතර එයින් පුරුෂ රතනය අග්‍ර වේ. මන්දයත් පුරුෂයන්ගේ සේවිකා බවට පත්වන බැවිනි. පුරුෂ රතනය ද අගාරික සහ අනගාරික වශයෙන් බෙදෙන අතර අනගාරික රතනයම අග්‍ර වේ. කුමක් හෙයින් ද යත් අගාරික රතන වල අග්‍රප්‍රාප්ත සක්විති රජු පවා ශීලාදී ගුණයෙන් උසස් අනගාරික රත්නයට පසඟ පිහිටුවා වැඳ උපස්ථාන කොට, ඇසුරු කොට දෙව් මිනිස් සැපතට ද, කෙළවර නිවන් සැපතට ද පැමිණෙන බැවිනි.


මෙසේ අනගාරික රතනය ද පෘතග්ජන සහ ආර්ය වශයෙන් බෙදෙන අතර ආර්ය උතුමන්ම එහි අග්‍ර භාවයට පැමිණේ. නැවත ආර්ය්‍යන් වහන්සේ ද සේඛ සහ අසේඛ වශයෙන් බෙදෙන අතර අසේඛ රත්නයම උතුම් වන අතර නැවත අසේඛ රතනය ද ශුෂ්ක විපස්සක සහ සමථයානික වශයෙන් බෙදෙන්නේ සමථයානිකම උතුම් රතනය වේ. නැවත සමථයානික රතනයද ශ්‍රාවක පාරමී භාවයට පැමිණි, නොපැමිණි වශයෙන් දෙ ආකාර වන අතර එහි දී ශ්‍රාවක පාරමී භාවයට පැමිණි රතනයම ගුණ මහත්වය නිසා උතුම් බවට පත් වෙයි.


ශ්‍රාවක පාරමී භාවයට පැමිණි රතනයන් අතර පච්චේක බුද්ධ භාවයට පැමිණි රතනයම අග්‍ර යැයි කියනු ලැබේ. කුමක් හෙයින් ද යත්, ගුණ මහත්වය නිසාම ය. සැරියුත්, මුගලන් මහ රහතුන් වහන්සේලා සමාන නොයෙක් සිය ගණන් ශ්‍රවකයෝ ද එක් පසේ බුදු වරයෙකුගේ ගුණයෙන් සියයෙන් කොටසකට වත් නො එළඹෙත්. ඒ තරම් වූ ගුණ කදම්භයකින් පසේ බුදු රජාණන් වහන්සේ නමක් යුක්ත ය.


කිව යුතු වූයේ එය වූවත් සිත නො ඉවසන බැවින් මේ බවත් මේ සමගම කියන්නෙමි. සියලු දඹදිව පුරාවටම අසුනින් අසුන ගටමින් වැඩහුන් පසේ බුදුවරු එක් සම්මා සම්බුදුවරයෙකුගේ ගුණයට සම නොවෙති. ගුණයෙන් දහයෙන් පංගුවකට හෝ නො එළඹෙති.


මෙලෙස සියල්ල දන්නා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ නමකටම පමණක් දෙවැනි වන මේ උතුමන් වහන්සේ නමකගේ පාරමී කාලය ද, පාරමිතාව ද දැනීම අත්‍යාවශ්‍යයෙන් කළ යුත්තකි.


අසූ මහ ශ්‍රාවකයෙක් වීමට පෙරුම් දම් පිරිය යුතු කාලය කල්ප ලක්ෂයකි. මහබෝසතුන්ගේ මව් බවට වේවා, පිය බවට වේවා, දරු බවට වේවා, උපස්ථායක බවට වේවා මේ කාලය පාරමී පුරා මිස මින් මොබ ලැබිය හැකි පදවියක් නොවේ. කල්ප ලක්ෂයක් පාරමී පිරිය යුතුම ය. මෙහි කල්ප වර්ණනාව වෙනම දත යුතු ය.


අන්තඃකල්පය ය, අසංඛ්‍ය කල්පය ය, මහා කල්ප යයි කල්ප තෙවැදෑරුම් වේ. පෙරුම් පිරීමේ කාල ප්‍රමාණය ගනුයේ මහා කල්පවලිනි. එය අති දිර්ඝ කාලයෙකි. එහි ප්‍රමාණය උපමාවෙන් මිස වර්ෂ සංඛ්‍යා වලින් නො දැක්විය හැකි ය. දිග පුළුලින් හා ගැඹුරෙන් යොදුන බැගින් ඇති කොටුවක පිර වූ අබවලින් සිය වසකට එක අබ ඇටය බැගින් ගන්නා කල්හි ඒ කොටුවේ අබ හිස්වීමට ගතවන කාලය කෙටි බවත් කල්පය දිග බවත් බුදුන් වහන්සේ වදාළ සේක.


අසංඛ්‍ය යනු ගණන් අතුරෙන් වැඩි ම ගණන ය. ඒ මෙසේ දතු යුතු. ලක්ෂ සියය කෝටිය ය. කෝටි ලක්ෂ සියය ප්‍රකෝටිය. ප්‍රකෝටි ලක්ෂ සියය නහුතය ය. නහුත ලක්ෂ සියය නින්නහුත ය ය. නින්නහුත ලක්ෂ සියය අක්ෂෝභිණිය ය. අක්ෂෝභිණි ලක්ෂ සියය බින්දුව ය. බින්දු ලක්ෂ සියය අබ්බුදය ය. අබ්බුද ලක්ෂ සියය නිරබ්බුද ය ය. නිරබ්බුද ලක්ෂ සියය අහහය ය. අහහ ලක්ෂ සියය අබබය ය. අබබ ලක්ෂ සියය අටටය ය. අටට ලක්ෂ සියය සෝගන්ධිකය ය. සෝගන්ධික ලක්ෂ සියය උප්පලය ය. උප්පල ලක්ෂ සියය කුමුදය ය. කුමුද ලක්ෂ සියය පුණ්ඩරිකය ය. පුණ්ඩරික ලක්ෂ සියය පදුමය ය. පදුම ලක්ෂ සියය කථානය ය. කථාන ලක්ෂ සියය මහා කථානය ය. මහා කථාන ලක්ෂ සියය අසංබෙය්‍යය ය. මෙය සංඛ්‍යා ක්‍රමය පිළිබඳ එක් ආචාර්ය මතයෙකි. තවත් ආචාර්ය වරයන් විසින් මෙයට වෙනස් ලෙස ද සංඛ්‍යා ක්‍රමය දක්වා තිබේ.


අග්‍ර ශ්‍රාවක බෝධිය දක්වා පාරමී පුරන උතුමෙක්ගේ පාරමී කාලය අසංඛ්‍යෙය එකකුත් කල්ප ලක්ෂයකි. පසේ බුදු බව ලැබීම පිණිස අසංඛ්‍යෙය දෙකක් සහ කල්ප ලක්ෂයක් පාරමී පිරිය යුතු වේ.


එමෙන්ම පසේ බුදු බව සඳහා ප්‍රාර්ථනා කරන්නන්ගේ බුදු බවට හේතු වන කරුණු පහක් අභිනීහාරය (ප්‍රථම ප්‍රාර්ථනාව) වශයෙන් දක්වා තිබේ. ඒ මෙසේ ය.


01. මිනිසත් බව

02. ලිංග සම්පත්තිය

03. ක්ෂීණාශ්‍රව දර්ශණය (බුදු, පසේ බුදු, රහත්

උතුමන්ගෙන් කවරෙක් හෝ දැකීම)

04. අධිකාරය

05. ඡන්දය


මෙහි තරමක් ලිහා ගත නොහැකි අධිකාරය සහ ඡන්දය ගැන පමණක් විවරණයක් තබන්නෙමි.


අධිකාරය යනු බලවත් පරිත්‍යාගය ය. එහි දී ආත්ම පරිත්‍යාගය හෙවත් ස්වකීය ජීවිතය පරිත්‍යාග කොට හෝ තම අභිලාෂය කැමැති වීම දක්වා තිබේ. අපගේ සුමේධ පණ්ඩිතයන් මෙනි. එදා ආත්ම පරිත්‍යාගය කොට දීපංකර බුද්ධ සූර්ය්‍යන් පාමුල වැටී හොත් ආකාරය සිහියට නගා ගත යුතු. එහිදී සුමේධ පණ්ඩිතයන් “බුදුරද, සිසුන් සමග මා මැඩගෙන වඩීවා”යී පැතී ය.


ඡන්දතා යනු කරනු කැමැත්තයි. යමක් කිරීමට යමෙක්ගේ කැමැත්ත බලවත් වේ ද, එය ඉෂ්ඨවෙයි. එහි ප්‍රාර්ථනාව කෙසේ විය යුතු දැයි යත්, යමෙක් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් නිරයේ පැස බුද්ධත්වය කැමති වේ දැයි ඇසූ කල ද එසේ ය කියා බුද්ධත්වයට යෑමට කැමැත්තේ නම් එම අදහස බලවත් එකක් බව දත යුතු ය. නමුත් මෙය නිරය ගැන ද මනාව දැනීමෙන් කළ යුත්තක් ම වේ. නිරය ගැන විස්තර ලිවීමට ගොස් බුද්ධාලම්බන ප්‍රීතිය ඉවත යනු දැකීමට සිත අකමැති ය. එනිසා එය මෙහි වසා තබා ඉදිරියට යන්නෙමි. ඒ තතු ද ඇති ආකාරයෙන් දැන මේ පැතීම කළ හැක්කක් නම් ඒ අදහස බලවත් එකක් යැයි දත යුතු ය.


යමෙක් වනාහී “ඔබ විසින් සියළු සක්වල චිරි චිරි ගා පැසෙන අඟුරු පිරුණේ එය මැඩ එතෙරට ගොස් බුදු බව ලබනු කැමැත්තේ දැ”යි අසන්නේ වෙයි. එසේත් නැතිනම් “සියළු සක්වල සැතින් උල්වලින් ගැවසී ඇති විටක එය මැඩ බුදු බව ලබනු කැමැත්තේ දැ”යි අසයි. තව ද “සක්වල පිරෙන තෙක් ජලය පුරවා එය උතුරවන විට එය මැඩ බුදු වීමට කැමැත්තේ දැ”යි අසයි. ඒ අසා යමෙක් “මම කැමැතියි” කීමට උත්සහ හෝ කරත් ද, ඔහුගේ කැමැත්තම බලවත් යැයි කිව යුත්තේ ය.


එදා සුමේධ පණ්ඩිතයා ද “මේ ආකාරයෙන් වූව ද කැමැත්තෙමි”යි සිතා බුදු බව පැතී ය.


එසේ අභිනීහාරය පත් වූයේ නම් දැන් ඇත්තේ පාරමී දම් පිරීම ය. අසංඛ්‍යෙය සහ කල්ප ලක්ෂාදි


වශයෙන් දැක්වෙන පාරමී කාලයන් පිරිසිඳිනුයේ අභිනීහාරයේ පටන් බව ද සිහියේ තබා ගත යුතු ය.

සාමාන්‍යයෙන් මහා බෝසතුන්ගේ පාරමී සම්පාදනය කළ යුතු ආකාරය අංග සතරකින් යුතු වන්නේ ය. දස පාරමිතාවන් එකකුදු අඩු නැතිව පිරීම එහි එක් අංගයකි. සැලකිල්ලෙන් සහ ආදරයෙන් කිරීම තව අංගයකි. නො නවත්වා එක දිගට සිදු කිරීම තව අංගයකි. කොතෙක් කල් හෝ ලොව්තුරු බුදු බව ලැබෙන දවසක් වෙත් ද, එතෙක් කල් පාරමී පිරිය යුතු බව තවත් අංගයකි.


නමුත් පච්චේක බුද්ධත්වය පිණිස හෝ ශ්‍රාවක පාරමී පිණිස පාරමිතා සම්පාදනය කිරීම මෙතරම් බර වැඩක් නොවන්නේ ය. එය තම තම ශක්ති පමණින් තමන්ගේ තත්වයට යෝග්‍ය ලෙස ගෙන සිදු කළ යුත්තේ ය.


දස පාරමිතාවන් වශයෙන් පාරමී දහයක් උගන්වනු ලැබේ. එය විස්තර වශයෙන් දනු කැමත්තවුන් විසින් රේරුකානේ මහා නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත පාරමිතා ප්‍රකරණය නැමැති හස්තසාර ග්‍රන්ථය කියවා ගත යුතු ය. මෙහිදී අවශ්‍ය තොරතුරු පමණක් දක්වන්නෙමි.


ඒ දස පාරමිතා ද පාරමිතාය, උප පාරමිතාය, පරමාර්ථ පාරමිතාය යි එක් එක් පාරමිතාවක් තුන් තුන් ආකාරයකට දක්වන්නේ මහා බෝධියය, ප්‍රත්‍යේක බෝධියය, ශ්‍රාවක බෝධියය යන බෝධිත්‍රයාගේ වශයෙන් ය.


මහා බෝධිසත්ත්වයන් විසින් පාරමිතා දශය ය, උප පාරමිතා දශය ය, පරමාර්ථ පාරමිතා දශය ය යන පාරමිතා තිහම අඩු නැතිව පිරිය යුතු ය. ප්‍රත්‍යේක බෝධි සත්ත්වයන්ට පාරමිතා, උපපාරමිතා දෙ කොටස පමණක් සම්පූර්ණ කිරීම ප්‍රමාණවත් ය. පරමාර්ථ පාරමිතාව නො පිරුයේ ද ප්‍රත්‍යේක බෝධියට පැමිණිය හැකි ය. ශ්‍රාවක බෝධි සත්ත්වයනට පාරමිතා පිරීමම ප්‍රමාණ ය. උපපාරමිතා පරමාර්ථ පාරමිතා නො පුරා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි ය.


බුදුවරු වනාහී උපදින විට ක්ෂත්‍රීය හෝ බ්‍රාහ්මණ කුලයේ ම උපදිති. අග්‍ර ශ්‍රාවකයෝ ද එසේ ම ය. පසේ බුදුවරු වනාහී ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ මෙන් ම ගෘහපති කුලයන්ගේ ද උත්පත්තිය ලබති.


පසේ බුදුවරු උත්පත්තිය ලබන්නේ බුදුවරු නොමැති කල්පයේ ය. එය ද ස්ථාන වශයෙන් ගත් කල පූර්ව විදේහය, උතුරු කුරු දිවයින, අපර ගෝ යානය යන තුන් දීප හැරපියා දඹදිවම පහළ වෙයි. බුදුවරුන් ද, අගසව්වන් ද, ශ්‍රාවකයන් ද, සක්විති රජවරුන් ද වනාහි දඹදිව උත්පත්තිය ලබයි. එහි ද මධ්‍යම දේශයේ ය.


එමෙන්ම බුදුවරු පහළවීමෙන් පසුව නොව, බුදුවරු පහළ වීමට පෙර කාලයේම පසේ බුදුවරු උත්පත්තිය ලබන්නේ ය. ඒ බව මාතඞ්ග පසේ බුදුවරයන් වහන්සේගේ කථාවෙන් වූවත් අපට පෙනෙන්නට ඇත.


උන්වහන්සේ වනාහි රජගහ නුවර ඇසුරු කොට ගෙන වැඩ හුන් අවසන් පසේ බුදුරජාණන් වහන්සේ විය. අපගේ බෝසතුන් උපන්නේ දෙවිවරුන් විසින් අප බෝසතුන් පුදනු පිණිස පැමිණෙන විට උන්වහන්සේ දැක “නිදුකාණෙනි, ලෝකයෙහි බුදුන් උපන්නාහ”යි කරන ලද කෝලහාලය අසා නිරෝධ සුවයෙන් නැගී සිටින්නේ තමන්ගේ ආයුෂය කෙළවර වී ඇති බව දැක, සියලු පසේ බුදුවරුන්ගේ පරිනිර්වාණය සිදුවන හිමාලයේ මහා ප්‍රපාත නම් පර්වතයට අහසින් ගොස් පිරිනිවන්පාන ලද පසේ බුදුවරුන්ගේ ඇටසැකිලි ප්‍රපාතයෙන් පහතට හෙලා “රාගඤ්ච දොසඤ්ච පහාය මොහං, සන්දාලයිත්වාන සංයොජනානි - අසන්තසං ජීවිතසඞ්ඛයම්හි, එකො චරෙ ඛග්ගවිසාණකප්පො” යනුවෙන් උදාන ගාථාවක් වදාළ සේක. එහි අර්ථය “රාග, ද්වේෂ, මෝහයන් හැර දශ සංයෝජනයන් සිඳ ජීවිතය සැකයට පත්කල්හි හෙවත් මරණාසන්නයෙහි තැති නොගන්නේ, කඟවේන අඟක් මෙන් හුදෙකළාවම හැසිරෙන්නේය” යන්නයි.


පසේ බුදුවරුන් ධර්මය දේශණා නොකරන බවත් උන්වහන්සේලාගෙන් වැඩි සෙතක් ලෝකයට නොවන බවටත් දුර්මතයක් සමාජය තුළ බැසගෙන ඇති බවක් දක්නට ලැබෙයි. නමුත් එය එසේ නොවේ. ධර්ම සාහිත්‍යය දෙස බලන කළ ඊට දැක්වීමට කොතෙකුත් උපමාවන් සිහිපත් වෙයි.


බුදුවරු වනාහි තෙමේද අවබෝධ කොට අනුන්නටද අවබෝධ කරවති. පසේ බුදුවරු තෙමේ අවබෝධ කරගත්තත්, ඒ ලෙසම අන් අයට අවබෝධ කිරීමට නොහැක්කෝ වෙති. අර්ථ රසයම පිරිසිඳ අත්වින්ද ද, දහම් රස විඳින්නෝ නම් ලොව්තුරු බුදුවරුන්ම වෙයි. පසේ බුදු වරුන්ට නො හැකි ය. උන්වහන්සේලාට ලොව්තුරු ධර්ම සම්මුතියේ පණාහවා විස්තර කොට පහදා දීමට නොහැකි ය. උන්වහන්සේලාගේ අවබෝධය කවර ලෙසකින් වන්නේ ද යන්නට උපමාවක් දක්වන්නේ නම්, ගොලුවා දුටු සිහිනයක් වැනි බව කියා ඇත. වනයෙහි සැරිසරන්නෙකු විසින් නගරයේ දී අනුභව කරන ලද ව්‍යඤ්ජන රසයක් මෙනි. එය අන් අයෙක්ට පැහැදිලි කර දීමට වහරට ගැළපෙන වචන නැත. නමුත් යම් තැනක බුද්ධ දේශිත නය ක්‍රමයක් ලදුයේ නම් මහා ප්‍රාඥ සාරිපුත්‍රයන් වහන්සේට වඩා කරුණු එළවා ධර්මය දේශණා කරන්නේ ය. සියලු සෘද්ධි, සමාපත්ති, පටිසම්භිදා ආදී කොටස් වලට අඩු නැතිව පැමිණෙති. ගුණ වශයෙන් සැලකූ කළ සම්මා සම්බුදුවරුනට යට මුත් සියලු ශ්‍රාවකයන්ට ඉහළ ය

.

අන්‍යයන් පැවිදි කොට ශාසණ පිහිටුවීමක් හෝ ආභිසමාචාරික සිල් පද වල හික්මීමක් නොකරන බව අපදානට්ඨකතාවෙහි කියා ඇත.

“සිතෙහි කෙලෙස් දුරු කළ යුතු ය, වැරදිවලට නොපැමිණිය යුතු ය” යනාදී වශයෙන් පමණක් උපදෙස් දෙමින් පොහොය ආදිය කරති. එසේ පොහොය කිරීමේදී “අද උපෝසථයැ”යි කියමින් පොහොය කරති. ගන්ධමාදන පව්වෙහි මඤ්ජූසක නම් රුකමුල ඇති රුවන්මය ශාලාවක එසේ පොහොය කරන බව දක්වා ඇත.


මේ මඤ්ජූසක නම් ගස යොදුනක් උස බවත් යොදුනක් පළල බවත් දක්වා තිබේ. සියලු මල් පිපෙයි.


පසේ බුදුවරයෙක් අලුතින් පහල වන දවසේ සියලු මල් රතුපාටින්ම වෙත්. සුළං විසින් ඉදිරිපත් වන්නේ අනෝතප්ත විලෙන් වතුර ගෙනෙත් ඉසියි. හිමාලයේ ඇති සියලු සුවඳ ගස්වල සුවඳින් එහි සුවඳ තැවරෙයි. සුළඟින් මල් කඩා බිම හෙලන අතර අතුරන වාතයෙන් එය පොළවෙහි පිළිවෙලින් අතුරත්. සෑමකල්හිම පණවන ලද අසුන් ඇත්තේ වෙයි. පසේ බුදුවරයෙකු උපදින දවසේ ද, උපෝසථ දවසේ ද සූර්යයන් දහස් ගණනින් එකතැන පෑ යූ සේ සියළු පසේ බුදුවරයන් වහන්සේලා එතැන වැඩ සිටිති. සමවතක් සමාදන්ව සිටියේද නැගී සිට පැමිණෙත්. කෙසේ අධිගම වූවේ දැ යි ඇසූ කල අපදානයේ ඇති උදාන ගාථා පැවසූයේ වෙයි. මේ එහි ස්වභාවයයි.


තවද උන්වහන්සේලා විසින් සිදු කරන ශාසන කෘත්‍යයන් එක් තැනකට සීමා කළ හැකි නොවේ. ධම්මපදයේ ප්‍රකීර්ණක වර්ගයේ එන ගඞ්ගාරෝහණ කථා වස්තුවේ ඒ ගැන ඉඟියක් දක්වා ඇත.


පෙර තක්ෂිලාවේ සිටි සුසීම නැමැති තරුණයෙක් මන්ත්‍ර ඉගෙනීමට ගොස් නොබෝ දිනකින් සියල්ලම ධාරණය කරගන්නේ සිය ගුරුවරයාගෙන් “ශිල්ප වල අවසානය කොතැන් දැ” යි විමසුවේ ය. ගුරුවරයා විසින් “ඉසිපතනයේ සෘෂිවරු වාසය කරති, උන්වහන්සේලාගෙන් දැනගන්න” යැයි කී බැවින් අවසර ගෙන පසේ බුදු වරුන් වෙත එළඹියේ ය. එළඹ “අවසානය කොතැන්දැ”යි ඇසුවේ ය. එවිට පසේ බුදුවරුන් විසින් “අප විසින් පැවිදි නො වූවන්ට නොකියමි, නමුත් දනිමි”යි කී බැවින් ඔහු විසින් පැවිද්දට එළඹුනේ ය. ඔහු ඒ අනුව හික්මෙන්නේ උපනිශ්‍රිය සම්පත් ඇති බැවින් නොබෝ දිනකින් පසේ බුද්ධත්වයට පැමිණියේ ය.


මෙසේ උන්වහන්සේලාගේ වචන මිහිරි වූ කුඩා මී වදයක් සේ ලොව පැතිරී ඇති බව දත යුතු ය. එය අසා යම් කිසිවෙක් ප්‍රතිපත්තියේ යෙදුණේ නම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හැකි බව පච්චේක බුද්ධ අපදානයේ ඇති “පච්චේක බුද්ධානං සුභාසිතානි, මධුං යථා ඛුද්දමවස්සවන්තං - සුත්වා තථා යේ පටිපත්තියුත්තා, භවන්ති තෙ සච්චදසා සපඤ්ඤා” යනුවෙන් සර්වඥයන් වහන්සේ විසින්ම වර්ණනා කර ඇත්තේ ය.

උන් වහන්සේලා සිදු නොකරන්නේ ශාසනය පිහිටුවීමක් සිදු කිරීම පමණි. උන්වහන්සේලාට වහරට ගලපා පරමාර්ථය දේශණා කිරීමට නොහැක. නමුත් ධර්මාවබෝධයට කුඩා වූ කාරණාවත් ප්‍රමාණ ය. එනිසාම සියුම් නුවණක් ඇත්තෝම පමණක් පසේ බුදු බව ලබන බවට පච්චේක බුද්ධ අපදානයෙහි කියා ඇත.


පිරිත් පොතේ එන ඉසිගිලි සූත්‍රයෙන් ද පසේ බුදුවරු ගැන කරුණු ගණනාවක් සොයා ගත හැකි වන්නේ ය. එහි “අරිට්ඨො, උපරිට්ඨො, තගරසිඛී, යසස්සි, සුදස්සනෝ, පියදස්සී, ගන්ධාරෝ, පිණඩෝලෝ, උපාසභෝ, නීථෝ, තථෝ, සුත්වා භාවිතත්තො” වශයෙන් පසේ බුදුවරු දහතුන් දෙනෙක්ගේ නම් පළමුව සඳහන් කොට අනතුරුව සත්වයන් අතරින් සාර වූ නිසා සත්තසාර යැයි ද, දුකින් තොර නිසා අනීඝා යැයි ද, තණ්හාවෙන් තොර නිසා නිරාසා යනුවෙන් ද, මානය සැලූ බැවින් මානච්ඡිදෝ යනුවෙන් ද, අලාමක වීර්්‍යය ඇති බැවින් අනෝමනික්කම නමින් ද, අන්තිම දේහය දරන බැවින් අන්තිමදේහධාරී යන නමින් ද, තෘෂ්ණාව සින්ද බැවින් සීදරි යන නමින් ද, ශාන්ත පදයට පැමිණි බැවින් සන්තං පදං අජ්ඣගමූපනීතො ආදී වශයෙන් අර්ථ එන සේ ඉසිගිලි සූත්‍රය වර්ණනා කොට දේශණා කරන ලදි.


තවද උන්වහන්සේලා ගැන දක්නට ඇති විශේෂ ප්‍රතිපත්තියක් නම් ගතපච්චාගත වතයි. ගතපච්චාගත වත නොපුරා පසේ බුද්ධත්වයට පත් වීමට හැකි කෙනෙක් නොවේ. සියලු පසේ බුදුවරු පෙර ගතපච්චාගත වත පිරූ උතුමන් වහන්සේලා ය. එනිසා සත්ජන වීර්ය්‍යවන්තයන් විසින් එම වත පිළිබඳව කරුණු මැනවින් දත යුත්තේම ය. නමුත් ඒ ගැන ලිවීමට ගිය විට ආරම්මණය වෙනතක දිවෙන බැවින් ඒ වත පිළිබඳව පොතේ අවසානයේ දැක්වීමට බලාපොරොත්තුවෙන් මෙතැන්ම නතර වෙමි. ඉදිරියට යමි.


උන්වහන්සේලාගේ ඥාන ශක්තිය ගැන දැනීමට ඉවහල් වන තවත් කරුණක් නම් උන්වහන්සේලාගේ පූර්ව ජන්මය සිහි කිරීමේ ඥානය ගැන ඇති සීමාවයි.


පුබ්බේ නිවාසානුස්සතිය වනාහි කර්මවාදී අග්‍රප්‍රාප්ත තීර්ථකයන්ගේ පටන් ක්‍රමයෙන් ශ්‍රාවකයන්ටත්, අග්‍ර ශ්‍රාවකයන්ටත්, පසේ බුදු වරුන්ටත්, ලොව්තුරා බුදුවරුන්ටත් ඇත්තේ ය. එහි කර්මවාදී තීර්ථකයන්ට කල්ප 40ක් ආපස්සට බැලීමට හැකි අතර ඉන් එහා ලිඳකට වැටුණු කොරුන් මෙන් සිහි කර ගැනීමට නොහැකිව දෘෂ්ඨියකට බැස ගනියි.


ශ්‍රාවකයන්ට වනාහි කල්ප ලක්ෂයක් ද, අගසවු දෙනම වහන්සේට අසංඛ්‍යෙය එකකුත් කල්ප ලක්ෂයක් ද සිහි කිරීමට හැකි අතර පසේ බුදුරජාණන් වහන්සේ නමකට අසංඛ්‍යෙය දෙකකුත් කල්ප ලක්ෂයක් සිහි කිරීමට හැකියාව ඇත්තේ ය. ලොව්තුරු බුදුවරු ගැන කුමක් ලියන්නේ ද ? උන්වහන්සේලාට වනාහි කිසිදු තැනක පැකිලීමක්, ගැටීමක් නැත්තේ ය. යම් තාක් කැමැත්තේ ද, ඒ තාක් සිහි කළ හැකි ය.


එහි ද තීර්ථකයෝ ස්කන්ධ පිළිවෙල සිඳ බලන්නට නොහැක්කෝ වෙත්. ශ්‍රාවකයෝ ද එසේ ම වෙත්. අගසවු දෙනම වහන්සේ සහ පසේ බුදුරජාණන් වහන්සේ වනාහි චුති පටිසන්ධි වශයෙන් බලන්නට හැක්කෝ වෙත්. ඒ ද තමන් වහන්සේ ඇසූ දුටු දේවල් වශයෙන් පමණක් ය. නමුත් බුදුවරයන් වහන්සේලාට වනාහි තමන් ඇසූ දුටු දේ පමණක් නොව, අනුන් ඇසූ දුටු දේ ද දැකිය හැක්කේ, ඒ ද පිළිවෙල සිඳ යම් යම් කැමති තැනක් වේ ද, එතැනම සිහිකර බැලිය හැක්කේ ය.


තවද පසේ බුදුරජාණන් වහන්සේලා වනාහි ඉතාම දක්ෂිණාර්හයෝ වෙත්. බොහෝ සත්වයන්ට ශක්ති පමණින් පිහිට වූවෝම වෙත්. ඒ බවට මේ උපමා කථායි.


පෙර භවයක තරමක් දුගී පවුලක ඉපදුණු උප්පලවණ්ණාව විසින් පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඇරඹ විලඳ ඇට පන්සියයක් පූජා කොට පාත්‍රය නෙළුමකින් වසා දුන් හ. ටික වෙලාවකින් ඇය “පසේ බුදුවරුනට දානයෙන් වැඩක් ඇතත්, නෙළුමෙන් වැඩක් නැත්තේ ය” යැයි සිතා පූජා කරන ලද මල නැවත ගත්තේ ය. නැවත ද “උන්වහන්සේට අනවශ්‍ය නම් ඉවසා සිටින්නේ නැතැ”යි කල්පනා කොට එය පූජා කොට “ස්වාමීනි, මට මේ විලඳ ඇට ගණනට පුතුන් ලැබ, තබන පියවරක් පාසා නෙළුම් පිපේවා”යි ප්‍රාර්ථනාවක් කලේ ය. පසේ බුදු රජාණන් වහන්සේ සියලු පසේ බුදුවරුන් බිමට බහින තැන පාපිස්නාවක් කොට නෙළුම තැන්පත් කළේ ය.


ඒ පිනෙන් දිව්‍ය ලෝක සැප කෙළවර නෙළුම් ගැබක පිළිසිඳ ගෙන තවුසෙක් විසින් දකින ලදුව ඇයව දියණියක් ලෙස සාදාගත්තේ ය. ඇය තබන තබන පියවරක් පාසා පොළව මත නෙළුම් පිපෙන්නේ වෙයි. එය පසේ බුදුන්ට කළ පූජාවේ විපාකය ය.


පසු කලෙක වනචාරීයෙක් විසින් දැක රජතුමාට දැන්වූයේ රජතුමා විසින් ඇයව මාළිගාවට කැන්දාගෙන ගියෝ ය. ගෙන ගිය දා පටන් රජු එම පද්මාවතී බිසවම ඇසුරු කරයි. අනිත් බිසවුන් කිපී “ස්වාමීනි, මැය යකින්නියකි, මනුෂ්‍යයන් තබන පියවරේ නෙළුම් පිපෙන්නේදැ”යි විමති උපැද්දුවේ ය.


මේ අතර තුර පද්මාවතිය පිලිසිඳ ගත් අතර දරුවා ලැබීමට ආසන්නයේ රජු පසල් දනව්වක යුද්ධයක් නිම කිරීම පිණිස බැහැර වූයේ ය. පද්මාවතිය පිරිමි පුතුන්ම පන්සියයක් වැදුවේ ය. නමුත් අනිත් බිසවුන්ගේ අල්ලස් වලට යට වී ඇයගේ දරුවන් පන්සියයම කරඬුවල දමා ගඟේ පා කොට යවා දර කැබැල්ලක ලේ තවරා ඇය වැදූ දරුවා යැයි රජුට පෙන්වා ඇයව මාළිගාවෙන් පිටමං කරවූයේ ය.


පසේ බුදුරජුන්ට දුන් නෙළුම ආපසු ගැනීමේ අනිෂ්ඨ විපාකය විපාක භාවයට එන්නේ ඇගේ තිබූ දේවත්වය පරදන රූ සෝභාව සැණෙකින් අතුරුදන්ව පියවර අනුව මල් පිපී නැග ඒමද අවසන් වන්නට විය.


ගඟේ පා කර යැවූ කරඬු තුළ සිටි පුතුන් අතර වැඩිමහල් පුතු වූ මහා පදුම කුමරුන් ඇතුලු සෙසු දරුවන් නැවත රජතුමන් විසින් සොයාගන්නේ සක්දෙවියන්ගේ විස්කමක් පරිදි තමන්ගේ සහ පද්මාතීගේ බව දැනගත් හ. පසු කළක මේ මහා පදුම කුමරු ඇතුලු පුතුන් නෙළුම් පිපි වනයක ජලස්නානය පිණිස යන්නේ නටුවෙන් ගිලිහෙන නෙළුම් මල් දැක සංවේගය උපදවා පසේ බුදු බවට පත් වූ සේක. හිස අතින් පිරිමදින විට කුමාර වේශය අතුරුදන්ව පැවිදි වේශය ලැබුණි.


පද්මාවතිය නැවත කුසලය විපාක භාවයට ගන්නේ මහත් පෙරහැරින් මාළිගයට වැඩම කළ හ. පියවරක් පාසා නෙළුම් පිපීම නැවත සිදුවන ලදි. පසු කලෙක ඇය විසින් “පෙර මා සපුත්‍රක වූවා ය, දැන් මා අපුත්‍රක වූවේ ය” යනුවෙන් සංවේග උපදවා මිය පරලොව යන්නට යෙදුණි.


පසු ආත්මභාවයක තමන්ගේම පුතු වූ පසේ බුදුවරු පන්සිය නම අතුරින් අටනමක් දැක දානයට ආරාධනා කරන්නේ පසේ බුදුවරු විසින් ස්වකීය මවට අනුග්‍රහ පිණිස එය ඉවසා වදාළ සේක. අටනමක් ආරාධනා ලදුව ද, පන්සිය නමම දක්වා ඇයගේ සන්තානය ප්‍රීතිමත් කොට ඇය නිල් මානෙල් මල් අටමිටක් ස්වකීය පුතුන් වූ පසේ බුදුවරුන් පා මුල පුදා උපුල්වන් සිරුරක් ලැබේවායි ප්‍රණිධි තිබ්බා ය.


එයින් උත්පත්තිය ලබන්නේ ඇය උප්පලවණ්ණාව නම් විය. දිව්‍ය රූ සිරු පරදවන මනුෂ්‍ය භවය නිසාම පැමිණි බොහෝ විවාහ යෝජනාවන් වලට කැමති බව නොකියා පැවිද්දට සිත් අලවා උපෝසථ දින උපෝසථාගාරය සකස් කරන්නේ, ප්‍රදීපයෙන් ලත් තේජෝ නිමිත්ත උපයෝගී කොට සව් කෙලසුන් නසා අරිහත්වයට පත්වන්නට යෙදුණි.


කථාව කෙටියෙන් ලියා දැක්වූයේ සිතකින් නොවේ මුත්, පසේ බුදුවරුන්ගේ දක්ෂිණාර්හ භාවය ඉස්මතු කිරීම සිත එළවා ලියා තැබූ කථා වස්ථුව ධම්මපද අට්ඨකථාවෙන් විස්තර සහිතව කියවා ගත යුතු ය. මෙයින් පසේ බුදුවරුන්ගේ දක්ෂිණාර්හ භාවය විතරක් දත යුත්තේ ය.


තව ද මේ සඳහා නන්දකෝවාද වස්තුව ද දත යුතු ය. එහි ප්‍රජාපතී ගෝතමී දේවියගේ පෙර ආත්මභාවයක් ඇත්තේ දාසීන් පන්සියයක ප්‍රධාන දාසියව උපත ලබා තිබුණි. ආවාසයක් සකස් කර ගැනීමට සිටු ගෙදරට ගොස් කිසිත් නො ලැබ නැවත එන පසේ බුදුරජාණන් වහන්සේ නමක් දැක තමන් විසින් කුටිය සකස් කොට පූජා කරන්නට අවසර ගෙන ස්වකීය අතවැසි දාසීන් සමග එක්ව කුටි සෙනසුන් සාදා මහත් වූ උපස්ථාන සහිතව පූජා කරන ලදි.


ඉන් එහා දිව්‍ය මනුෂ්‍ය සැප කෙළවර සංසාරයේ සැරිසරන්නී ඒ පිනෙන්ම කෝලිය නුවර ක්ෂත්‍රීය කුලයේ උපත ලැබුවේ ය.


පාණීය ජාතකය ද මීට උපමා වශයෙන් දත යුතු ය. එහිදී පසේ බුදුවරුන් පස් නමක් ගැන දැක්වෙන අතර ඒ පසේ බුදුවරුන් පසේ බුද්ධත්වයට පත් වීමට පෙර පිළිවෙලින් සොරකමක් කොට අනතුරුව එය පිළිකුල් කිරීම් වශයෙන් කළ කල්පනාවෙන් ද, එසේම බොරුකීමක් සිදු කොට එය පිළිකුල් කිරීම් වශයෙන් කළ කල්පනාවෙන් ද, අන් කෙනෙක් ගේ බිරිඳක් දැක ලෝභ කිරීම පිළිබඳ කළ කල්පනාවෙන් ද, ප්‍රාණඝාතය කිරීමට අනුබල දී එය පිළිකුල් කිරීම් වශයෙන් කළ කල්පනාවෙන් ද, රහ මෙර පානය කරවීමෙන් පසු එය ගැන කළ ආදීනව කල්පනාවෙන් ද වශයෙන් පච්චේක බුද්ධ භාවයට පැමිණියේ ය. පසුව රජු විසින් සංවේගයට කාරණාව කුමක්දැයි විමසන ලදුව විස්තර කියන්නේ රජු ද කාමයන් ගැන සංවේග උපදවා එකළ ප්‍රිය භාර්යා වූ යශෝධරාවගේ පෙර ආත්මභාවයක් රජු ඉදිරියේ කාමය ගැන වර්ණනා කළ ද, පසේ බුදුවරුන්ගේ වචනය අනුව යමින් කාමයන් ප්‍රතික්ෂේප කොට ධ්‍යාන ලබා බඹ ලොව පවා ගියෝ ය. බෝධිසත්වයන් වහන්සේලාට පවා මේ පසේ බුදු උත්තමයන් වහන්සේගෙන් පිහිට ලැබෙන්නේ එසේ ය.


මහා කස්සප මහ රහතුන් වහන්සේගේ කථාවස්තුවක් ද දක්වමි.


පෙර එක් ආත්ම භාවයක ඒකසාටක බමුණෙක්ව සිය සළුව තථාගතයන් වහන්සේට පුදා එයින් චුතව දෙව් මිනිස් ලොව සැරිසරන්නේ එක් ආත්මභාවයක කුල ගෙයක ඉපිද පසේ බුදු කෙනෙක් සිය සිවුරු කර්මය සිදු කරනු බලන් හිඳ, මදි වූ නුවාව කිරීමට තමන්ගේ උතුරු සළුව පුදා උපනුපන් භවයේ කිසිත් අඩු නොවේවායි පැතුමක් කොට නිවසට ගියේ ය.


සිය නැගණිය, බිරිඳ හා රණ්ඩුවක් කරමින් සිටින්නේ පසේ බුදුවරයෙක් දැක දන් පිළිගන්වා “මැයව යොදුන් සියයක් දුරුකරමි”යි ප්‍රාර්ථනාවක් තැබුවේ ය. බිරිඳ විසින් එය අසා මේ දන් පත මුන්වහන්සේ විසින් වැළඳිය යුතු නොවේ යැයි එය ගෙන ඉවත හෙළා පාත්‍රය මැටි වලින් පුරවා දුන්නේ ය. නැවත නුවණැති නැගණිය විසින් “මෝඩිය, නුඹට ගසන්නට හෝ බනින්නට ඇවැසි නම් මටම කරව, අසංඛ්‍යෙය දෙකක් පුරා පාරමී පිරී උතුමන් එක්ක සෙල්ලම් නොකරව”යි කීයෙන් සිහි උපදවා නැවත මැටි ඉවත් කොට සුවඳ බතින් පුරවා දුන්නේ ය. උපනුපන් තැන ශරීරය ආලෝක වේවායි ප්‍රාර්ථනාවක් ද තැබී ය.


එයින් පිනෙහි විපාක ගෙවෙන්නේ පසු ආත්මභාවයක සිටු පුතෙක්ගේ නිවසේ බිරිඳව පැමිණියා ය. මෙතෙක් විපාක නුදුන් පසේ බුදුරදුන්ගේ පාත්‍රයට මැටි දැමීමේ විපාකය ඇය කරා එළඹෙන ලදි. ඇය විවාහ වී ගෙට ගොස් වැස්ම ඉවත් කළ තැන පටන් ඇගේ කයෙන් පරණ වැසිකිළියක් මෙන් දුර්ගන්ධය විහිදුවන්නට පටන් ගත්තේ ය.


නැවත ඇය විසින් සිටු මැදුරෙන් පිටමං කරන ලදුව ස්වකීය ආභරණ වලින් ගඩොලක් කර චෛත්‍යයකට තබා නැවත පින් මතු කරගන්නට සමර්ථ විය.


මෙසේ සසර සැරිසරන අතර පසේ බුදුරදුන්ට උතුරු සළුව පිදීමේ විපාකය උපාසක වෙත එළඹෙන්නේ ක්‍රමයෙන් නන්ද නමින් රාජ්‍යත්වයට පත් විය. එකල පද්මාවතී දේවියගේ පෙර කී මහා පදුම පසේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 500ක් පසේ බුදුවරුන්ට උපස්ථාන කරන්නේ, උන්වහන්සේලාගේ සිටි සිටි තැන්වලම සිදු වූ පරිනිර්වාණය අසා රාජ්‍යයේ කළකිරී “මෙවැනි උතුමන්ටත් මෙසේ වන්නේනම්, අප ගැන කවර කථාවක් දැ”යි කල්පනා කොට සෘෂි පැවිද්දෙන් පැවිදි විය. භාර්යාවද ඒ අනුව යන්නී, පැවිදිව කෙළවර දෙදෙනා සමගම බඹ ලොව උපන්නේ ය. ඒ අප මහා කාශ්‍යපයන් වහන්සේ සහ භද්‍ර කාපිලානාවගේ පෙර ආත්මභාවයක් බව දත යුතු ය. පසේ බුදුවරුන්ගේ උපකාරය මෙසේ ද දත යුතු වන්නේ ය.


තවත් එක් අපූරු කථාවක් ධම්මපදයේ කුම්භඝෝෂක කථා වස්තුවේ එන්නේ ය.


එහි එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිවසකින් නිතර දන් වළඳන්නේ එම නිවසේ සිටි සුනඛයාට නිතර බත් පිඬක් දෙන සේක. ඌ එයින්ම එම පසේ බුදුරජාණන් වහන්සේ කෙරහි ඇති වූ සෙනෙහසකින් යුක්ත වූවේ ය. සමහර දිනවල ගෙහිමියා විසින් පසේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ස්ථානයටම ගොස් උවැටන් කරයි. ඒ යන විට සුනඛයාව ද රැගෙන යයි. අතරමගදී වන සිවුපාවුන් ඇති තැන් වල සූ සූ හඬ තියමින්, ලී වලින් තට්ටු කරමින් යන්නේ සුනඛයා එය අනුව කරුණු සිත තබා ගත්තේ වෙයි. ගෙහිමියාට යන්නට ඉඩ නැති දිනවල සුනඛයාව “දරුව යන්න, ආර්ය්‍යන් වහන්සේ කැඳවාගෙන එන්න” යැයි පිටත් කර යවයි. සුනඛයා ද හිමියා ගත් ගමන් මග ගන්නේ සිවුපාවුන් ඇති තැන්වල හිමියා කළාක් මෙන් තෙවරක් බුරා වන සතුන් පළවා හැර පන්සල් දොරටුවේ දී නැවත තෙවරක් බුරා පසේ බුදුරජාණන් වහන්සේව වඩම්මාගෙන බුර බුරා ඉදිරියෙන් යයි. පසේ බුදුරජාණන් වහන්සේද ඌව පරීක්ෂා කිරීමට සිතා වෙනත් මාර්ගවලට ද ඉඳහිට පිවිසී බලයි. එවිට සුනඛයා ඉදිරියට ගොස් මාර්ගය අවහිර කොට බුරා සැබෑ මගට හරවා ගනී.


වෙනත් දිනක මග අවහිර කොට නැවතුණේ ද පසේ බුදුරජාණන් වහන්සේ නොනැවතීම ගමන් කළේ ය. සුනඛයා උන්වහන්සේ නොනවතින බව දැක සිවුරු කොණ සපා අල්වාගෙන සැබෑ මගටම ගත්තේ ය. මෙසේ ඌ උන්වහන්සේ කෙරෙහි ඉමහත් ස්නේහයක් උපදවාගෙන සිටියේ ය.


දවසක් උන්වහන්සේ කලකට පසුව සිවුරක් කරගැනීමේ වුවමනාවෙන් ගන්ධමාන පර්වතයට වැඩියෝ ය. ටික දිනක්ම උන්වහන්සේ නැවත නොවඩින බවට කළ කථා බහ අසා සිටි සුනඛයා උන්වහන්සේ වඩින දෙස බලා බුරමින් සිටියේ හදවත පැලී මැරී වැටුණේ ය. මේ තිරිසනුන් වනාහි සෘජු ජාතිකයෝ ය. අකුටිලයෝ ය. මිනිසුන් මෙන් කටින් එකක් කියමින් සිතින් වෙනකක් සිතන්නේ නොවේ. සත්තු නම් විවෘත හදවත් ඇත්තෝ යැයි කීවේ එබැවිනි.


ඒ සුනඛ තෙමේ ඒ අකුටිල භාවයෙන් කලුරිය කොට දෙව්ලොව ඝෝෂක දිව්‍යපුත්‍ර නමින් උත්පත්තිය ලැබූවේ ය. ඔහු තව කෙනෙක්ගේ කනට කර යමක් කියූවද සොළොස් යොදුනක් පුරා හඬ පැතිරී යයි. කිනම් ආනිශංසයක් ද යත්, පසේ බුදුන් කෙරෙහි ප්‍රේමයෙන් බිරීමේ ආනිශංසයයි. තවත් බොහෝ ආනිශංස මිනිසත් භවය ලත් තැනත් ලැබුණේ ය. ඒ ගැන ධම්මපදය අටුවාවේ ඝෝෂක උත්පත්ති කථාවෙන් දත යුත්තේ ය. කිසිවෙක්ට ලංවිය වත් නොහැකි විය. පසේ බුදුරදුන්ට ස්නේහ කිරීමේ ආනිශංසය එය ය.


පසේ බුදුවරයකුගේ දක්ෂිණාව මහත් ඵල කිරිමේ බලය අග්ගදක්ඛිණෙය්‍ය නාමය දරන මහරහතුන්ගේ දක්ෂිණාව මහත් ඵල කිරිමේ බලයට වඩා සිය ගුණයෙන් වැඩි බව වේලාම සූත්‍රය අනුව කිය යුතුය. පසේ බුදුවරුන්ගේ දක්ෂිණාර්හභාවයට නිදසුනක් වශයෙන් අන්නභාර නමැති දුගියාගේ කථාව දැක්වීම සුදුසු ය.


ඒ මෙසේය:-


අතීතයේ බරණැස් නුවර සුමන නම් සිටුවරයෙක් විය. ඔහු දිනපතා දුගි මගී යාචකාදීන්ට මහා දානයක් දෙයි. ඔහු ඇසුරු කර ජිවත් වන අන්නභාර නම් දුගියෙක් විය. පසේ බුදුහු විශේෂයෙන් දුගියන්ට අනුකම්පා කරන්නෝය. එක් දවසක් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතයෙහි නිරෝධ සම්පත්තියට සම වැඳි සිට ඉන් නැගිට අනුග්‍රහ කළ යුත්තකු විමසන්නාහූ අන්නභාර නම් දුගියා දැක ඔහුට අනුග්‍රහ කරනු පිණිස ඔහු වනයෙහි සිට සිය නිවසට එන වේලාවෙහි පා සියුරු ගෙන අහසින් වැඩම කර ග්‍රාමද්වාරයේ අන්නභාර එන පෙරමඟ සිටි සේක. දුගි අන්නභාර හිස් පාත්‍රයෙන් සිටි පසේබුදුන් දැක, උන්වහන්සේට වැඳ “ස්වාමිනි, භික්ෂාව ලද සේක් දැ” යි විචාළේ ය. “ලබන්නෙමි”යි පසේ බුදුහු වදාළහ. එකල්හි අන්නභාර “ස්වාමිනි, මොහොතකට මෙහිම වැඩ සිටිනු මැනව” යි කියා වේගයෙන් ගෙට ගොස් බිරිය අමතා “මගේ බත් පංගුව ඇතිදැ” යි අසා “ඇතැය” යි කී කල්හි වහා ගොස් පසේ බුදුන් වහන්සේගේ පාත්‍රය ගෙනවුත් භාර්යා අමතා “සොඳුර, අපට පෙර පින් මඳ බවින් දිළිඳුව සිටින්නට වී ඇත. අපට දෙනු කැමැත්ත ඇති වූ දාට දෙන්නට දෙයක් නැති වෙයි. දෙන්නට දෙයක් ඇතිදාට ප්‍රතිග්‍රාහකයකු නොලැබෙයි, අද මට උපරිට්ඨ පසේ බුදුන් වහන්සේ හමුවූහ. මාගේ බත් පංගුව මේ පාත්‍රයට බෙදා දෙව” යි කීය. නුවණැති බිරිය “සිය සැමියාගේ දානයට තමාද කොටස් කාරියක විය යුතුය” යි සිතා තමාගේ බත් පංගුවද ඒ පාත්‍රයට බෙදා දුන්නී ය. අන්නභාර පසේ බුදුන් වහන්සේ වෙත පාත්‍රය ගෙන ගොස් පිළිගන්වා “ස්වාමිනි, මේ පිනෙන් මම මේ දුප්පත් ජිවිකාවෙන් මිදෙම්වා”යි කීය. “පින්වත එසේම වේවා” යි පසේ බුදුන් වහන්සේ වදාළහ. ඉක්බිති අන්නභාර ඔහුගේ උතුරු සළුව බිම අතුරා, “මෙහි වැඩ සිට වළදනු මැනව” යි කීය.


පසේ බුදුන් වහන්සේ එහි වැඩ සිට අහාර වැළදු සේක. දන් වැළදු පසු අන්නභාර පසේ බුදුන් වහන්සේට පාත්‍රය සොදා ගැනිමට වතුර ද සපයා දිණ. අවසානයේ පසේ බුදුන් වහන්සේ පසේ බුදුවරුන්ගේ සිරිත පරිදි සෑම පසේ බුදුවරයෙක්ම භාවිතා කරන “ඉච්ඡිතං පත්ථිතං තුය්හං - ඛිප්පමේව සමිජ්ඣතු - සබ්බෙ පූරෙන්තු සංකප්පා - චන්දො පණ්ණරසී යථා”යි අනුමෝදනා කොට මඟට පිළිපන් සේක.


මෙම පින්කමට සාධු නද දුන් දේවතාවගේ ශබ්දය උඩු දුවා ගොස් කලකට පසුව රජතුමා විසින් ඔහුට ගෙයක් සදා දිමට නියම කෙළෙන් මිනිස්සු ඔහු උදෙසා බිමක් සුද්ද කරන්නට පටන් ගත්හ. එහි උදලූ පහර ගසන ගසන තැන නිදන් සැළි විය. ඒ බව රජුට දැන් වූ කල්හි රජතුමා ඒ නිදන් සාරා ගොඩ ගන්නට අණ කළේ ය. සාරත් සාරත්ම නිධාන පොළොවෙහි ගැලෙන්නට විය. එකකුදු මතු කළ නොහැකි විය. ඒ බව රජුට දැන් වු කල්හි රජතුමා අන්නභාරගේ වචනයෙන් සාරන්නට අණ කළේ ය. එසේ කළ කල්හි උදලූ පහර දෙන දෙන තැන හතු පිපුනාක් මෙන් නිදන් මතු වන්නට විය. ඒ ධනරාශීය ගෙනැවිත් රජු සමිපයේ ගොඩ ගැසු හ. රජතුමා අන්නභාරට නුවර සිටු තනතුරක් දුන්නේ ය. ඔහු එතැන් පටන් නොයෙක් පින්කම් කොට මරණින් මතු දෙව්ලොව උපන්නේ ය. මෙය තවත් විස්තර සහිතව මනෝරථපූරණියේ එන බැවින් එයින් සෙසු විස්තර දත යුතු ය.


යමෙක් තමාගේ ආහාරය තමා අනුභව නොකොට නිතර අනුන්ට දෙයි නම් එය මහා ගුණයකි. දුෂ්කර වැඩකි. මුළු ජිවිත කාලයටම එක් වරක් තමාගේ බත් පංගුව දීම ලොකු වැඩක් නොවේ. එක බත් වේලක් දීම මහා දෙයක් කළේ ය කියා පුජා සත්කාර කිරිමට තනතුරු දීමට තරම් කරුණක් නොවේ. සිටුතුමාගේ හා රජතුමාගේ සිත් අන්නභාරට පුජා සත්කාර කිරිමට තනතුරු දිමට තරම් කරුණක් නොවේ. සිටුතුමාගේ හා රජතුමාගේ සිත් අන්නභාරයට පුජා සත්කාර කිරිමට තනතුරු දිමට නැමුණේ නිරෝධ සමාපත්තියෙන් නැගි සිට පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිරිනැමීමෙන් වූ කුසල බලය නිසාය. ඔහුට පිණ්ඩපාත දානය ඉහාත්මයේ දී ම විපාක දෙන කුසලයක් වුයේ පසේ බුදුන් වහන්සේගේ ගුණ සම්පත්තිය නිසාය. සාමාන්‍ය පුද්ගලයන්ට එබදු පිණ්ඩපාතයන් දහස්වර දසදහස්වර දුන ද ඒවායින් ඉහාත්මයේ විපාකයක් නොලැබේ.


අන්නභාර හැර පසේ බුදුවරුන්ට සුළු දේවල් පුදා මහත් මහත් සම්පත් ලැබු තවත් බෝහෝ දෙනෙකුගේ කථා පුවත් බෞද්ධ සාහිත්‍යය තුළ කොතනත් දක්නට ලැබේ.


මේ උතුමන් වහන්සේලා වනාහි අල්පමාත්‍ර වූ හෝ කෙලෙස් ධර්මයක් දැක එයට නිග්‍රහ කොටම පසේ බුද්ධත්වයට පත් වන්නෝ ය. ඊට කුම්භකාර ජාතකය උපමායි.


එහි එක් කරණ්ඩු නැමැති රජ කෙනෙක් ශෝභමානව තිබූ අඹ ගසක් ඒ ගහේ හට ගත් ඵල හේතුවෙන්ම ගල් මුල් වැදී අතු ඉති සුණු වී ශෝභාව ඉවත් ව තිබූ අයුරු දැක ගිහි ගෙයත් මේ වැනි ය, පැවිද්ද නම් ගෙඩි නැති ගසක් සේ හුදකලා ය යැයි


සිතා ගස මුලදීම ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්නේ ගිහි වස්ත්‍රයෙන්ම පච්චේක බුද්ධත්වයට පැමිණියේ ය. හිස පිරිමැද්දේ ගිහි වෙස අතුරුදන්ව පැවිදි වේශය ලැබුණේ ය. අහසට පැන නැගී සිය පිරිවර සහිත ජනයාට අවවාද දී උතුරු හිමාලයේ පිහිටි නන්දමූලක පර්වත ප්‍රාන්තයට වැඩි සේක.


නග්ගජී රජතුමා විසින් ද විවේක සුවයෙන් ඉන්නේ තමන් ලඟ සිටි කාන්තාවකගේ වළලු දෙක ගැටීමෙන් උපදින ශබ්දය අසා, සත්වයෝ ද මෙසේ එකට ඉන්නේ ම ගැටෙයි, වෙන් වූ විට ගැටීමක් නැතැයි කල්පනා කොට “මා විසින් ගන්ධාර-කාශ්මීර යන රාජ්‍යය දෙකම අත්හැර තනිව විසීමට සුදුසු යැ”යි සිතා විදර්ශනා කරන්නේ පච්චේක බෝධියට පැමිණියේ ය. සෙසු විස්තර කලින් කී සේ ම දත යුතු ය.


මියුලු නුවර නිමි රජතුමා විසින් ද විවේක සුවයෙන් උඩු මහල් තළයේ ඉන්නේ මස් කැබැල්ලක් ගෙන අහසට නැගි උකුස්සෙකු පසුපස එළව එළවා පහර දෙන ගිජු ලිහිණි ආදී පක්ෂි සමූහය දැක සංවේග උපදවන්නේ පහර කෑමෙන් බේරිමට මස් කැබැල්ල අත්හැරි උකුස්සා සැනසීමට පත්වුණු දැක “යමෙක් අල්ලා ගත්තෝ ද, ඔවුන් දුක් විඳින්නෝ ය, යමෙක් අත්හැරියේද, මේ උකුස්සා මෙන් සැනසීමට පත් වන්නේයැ”යි සිතමින් විදර්ශනා කොට හිටිවනම පසේ බුද්ධත්වයට පත් වූයේ ය. සෙසු විස්තර කලින් කී සේ දත යුතු ය.


තවද උත්තර පංචාල නම් රටේ දුම්මුඛ නම් රජෙක් වූ අතර ඔහු ද තමන්ගේ ගවයන් ලිහන ගොපල්ලා දැක ගවයන් දෙස බලන්නේ එක් වැස්සියක් වෙනුවෙන් ගහමරා ගන්නා වස්සන් කීප දෙනෙක් දැක ඇති වූ තුවාල, මරණ ආදියේ සංවේග උපදවන්නේ කාමයන්ගේ ආදීනව දැඩිව කල්පනා කරමින් “කාමයන් දුරු කිරීමම වටී” යැයි සිතන්නේ පසේ බුදු බවට පැමිණියේ ය. සෙසු විස්තර කලින් කී සේ ම ය.

මේවා විස්තර වශයෙන් දැනගැනීමට නම් අදාල මූලාශ්‍රයන් පරිහරණය කිරීම ඉතා වටී. මෙහි කෙටියෙන් අදාළ කාරණාව පමණක් සිහිපත් කරන්නේ මේ ග්‍රන්ථය කියවන්නාට වෙහෙසක් නොවී කාරණය වටහා ගැනීමට ඉඩ ලැබේවායි සිතමිනි.


ඇතැම් කාලවල මෙවැනි පසේ බුදුවරයන් වහන්සේලා දහසක් පමණ එකට වැඩ සිටි ඇති බවට ධම්මපදයේ මහා කප්පින තෙරුන්ගේ කථාවස්ථුව ආදී තැන්වල දැක්වෙයි.


ග්‍රන්ථයේ සොඳුරුම වර්ණනාවට පැමිණ ග්‍රන්ථය අවසන් කරන්නට කල්පනා කරමි. ඒ පෙර ආනන්ද මහ උතුමන් වහන්සේ විසින් අසන ලදුව සියල්ල දන්නා අප මහ ලොව්තුරු සර්වඥයන් වහන්සේ විසින් පසේ බුදුවරුන්ගේ අපදානය ගැන කී ගාථාවන් වර්ණනා කිරීමෙන් ය. පසේ බුදු වරු බොහෝ ප්‍රමාණයකගේ කතා වස්තූන් එහි දක්වා ඇත. ඒවා සූත්‍රය නොසිඳ දැක්වීමට වග බලාගන්නෙමි. එහි ඇති පසේ බුදුවරුන්ගේ කථා පුවත් මෙසේ ය.


පසේ බුදුවරු වනාහී පෙර බුදුවරයන් විෂයෙහි


කරන ලද පුණ්‍යසම්භාර ඇත්තෝ ය. පෙර බුද්ධසාසන වල පිළිවෙත් පුරා නොලබන ලද විමෝක්ෂය ඇත්තේ ය. අති සියුම් නුවණක් ඇත්තේ එයින්ම සංවේග උපදවා පසේ බුදු බවට පත්වන්නෝ ය. ස්වයම් භූ ඥාණයෙන් අවබෝධය ලබන්නේ සියුම් වූ කරුණක් අරඹයා වූවද කෙලෙසුන් නසන්නේ ය. පසේ බුදුවරුන්ට වඩා ලෝ තලයේ ඉහලින් ඇත්තේ ලොව්තුරු බුදුවරුන්ම පමණි. උන්වහන්සේලාගේ උදාන වැකි පැණි වැගිරෙන කුඩා මී වද සේ මිහිරි ය. නිර්වාණ ඖෂධය පතන්නෝ විසින් ඒවා පහන් සිතින් පිරික්සිය යුතු ය. පරමාර්ථය දක්නා සිංහයෙකු බඳු වන්නේ ය. තනිව හැසිරෙන කඟවේණෙකුගේ අඟක් වැන්නේ ය. සන්සුන් ඉඳුරන් ඇත්තේ ශාන්ත, සමාධි සිත් ඇත්තෝ වන්නේය. ජනපද වාසී සත්වයන් කෙරෙහි පැතිරූ මෙත් සිත ඇත්තේ ය. නිරෝධ සමාපත්ති, ඵල සමාපත්ති වශයෙන් සම්පූර්ණ වූවෝ ය. ප්‍රහීණ කරන ලද නීවරණ ඇත්තෝ ය. ලෝකයේ පවතින සුභාෂිත වචන ඇත්තෝ ය.


මෙසේ අපගේ මහාසෘෂීන් වහන්සේ විසින්ම ස්වකීය ශ්‍රී මුඛ ධාතුවෙන් වර්ණිත අන්තිමදේහය දරමින් ඇත්තේ ය.


මහත් වූ රජසම්පත් නිසා යුද්ධ කර, යුද්ධය අවසානයේ පීඩා වූවන්ට මෙත් සිත පතුරවා ලබා ගත් පසේ බුද්ධත්වය ඇති පසේ බුදුවරයෝ දක්නට ලැබෙත්. බඹදත් රජු මෙනි. ඇතුපිට සිටම මාර්ග සුවය ද, ඵල සුවය ද වින්දේ ය. ඒ බව කියමින් අහසට පැන නැග පියුමක් මත්තෙහි මෛත්‍රී සතර ධ්‍යානයම සිත ඇත්තේ අපදානයේ එන සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යන ගාථාව දේශණා කරන ලදි. එය පෙර කී මඤ්ජූසක ගස පාමුල පණවා ඇති ආසනයේ හිඳ ස්ථවිරයන් වහන්සේ ඇසූ කල දේශණා කරයි.


තවත් පසේ බුදුවරයෙක් තමන්ගේ භාර්යාව වීමට ගෙන එන රූමත් කාන්තාව අතරමගදි මළ බව අසා ඒ ඔස්සේ ශෝකය ඉපදීමට හේතුව ඉපදීමයි, එය නැති තැන ශෝකයක් නැතැයි කල්පනා කරමින් පසේ බුද්ධත්වයට පත් වූවේ ය. එයින් සංසග්ග ජාතස්ස භවන්ති ස්නෙහා යන දෙවැනි ගාථාව හට ගන්නා ලදි.


තවත් පසේ බුදුවරයෙක් ස්වකීය රාජ්‍යය කටයුතු පසෙකලා ශ්‍රමණ ගුණ දම් පුරන්නේ නැවත රාජ්‍යය කටයුතු බැලූ දවසක මහත් වූ අධර්ම පාලනයෙන් පැන නැගි ඝෝෂාව නො ඉවසා පසේ බුද්ධත්වයට පත් වූයේ ය. එයින් මිත්තේ සුභජ්ජේ යන තුන්වැනි ගාථාව හටගන්නා ලදි.


තව ද පසේ බුදුවරයෙක් තවත් පසේ බුදුවරුන් දැක තමන් සමග එකට එක්ව පිරූ ගුණ දම් ඇත්තේ එයින්ම සසර පුරුදු අනුව සිතා පසේ බුදු බවට පත්ව වංසො විසාලොව යන ගාථාව දේශණා කොට වදාළ සේක.


මෙසේ ස්වකීය දරුවන් පෝෂණය කිරීමේ ආදීනව දැක පසේ බුදු වූ බුදුවරු ඇත්තේ ය. සුරා මදයෙන් මත්ව පුතු මරා කා ඊට සංවේග කරන්නේ පසේ බුද්ධත්වය ලැබූවෝ ඇත්තේ ය. යාග සඳහා සත්වයන් රැස් කරනු දැක ඊට අනුව මෛත්‍රී කොට පසේ බුදු වූ බුදුවරු ඇත්තේ ය. වියළුණු ගස් දැක විපස්සනා වඩා බුදු වූ පසේ බුදුවරු ඇත්තේ ය. පසේ බුදුවරුන් දැක ඒ අනුව ගොස් පසේ බුදු වූ උතුමන් වහන්සේලා ඇත්තේ ය. කයට වැළඳුණු අසනීපය විදර්ශනා කොට බුදු බවට පත් පසේ බුදුවරු ඇත්තේ ය. සිතේ ඇති වූ කෙලෙස් ධර්මයේ අනිෂ්ඨ විපාකයට බය වී පසේ බුදු බව ලැබූ උතුමන් වහන්සේලා ඇත්තේ ය.


මෙලෙස අපදානට්ඨකථාවේ පසේ බුදුවරු බොහෝ ගණනක් ගැන තමන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ආකාරය ගැන උදාන ගාථාවක් කොට අපදානයේ සිංහයෙක් බඳු වූ අප භාග්‍යවත් මුනීන්ද්‍රයන් වහන්සේ විසින් වර්ණනා කර ඇත.


මහා කාරුණික වූ ලොවුතුරා බුදුවරයෝ බොහෝ සත්ත්වයනට පිහිට වනු පිණිස බොහෝ කල් පෙරුම් පුරා බුදු වෙති. පසේ බුදු වරු සහ බුද්ධ ශ්‍රාවකයෝ ආත්ම විමුක්තිය පිණිස පෙරුම් පුරා අර්හත්වයට පැමිණ නිවන් ලබති. ඒ එක ම නිවනට ය. ලොවට වෙනස් ආකාරයේ මහා යහපතක් කළ නො හෙන බව බැලූ බැල්මට පෙනෙන පසේ බුදු බව සඳහා දීර්ඝ කාලයක් කුමට පෙරුම් පුරත් ද යන්න කිසිවෙක්ගේ සිත තුළ ඇති විය හැකි සාධාරණ ගැටළුවකි.


මහා ශ්‍රාවක බෝධියෙන් නිවන් දක්නට බලාපොරොත්තු වන්නවුන්ට කෙතෙක් කල් හෝ ලොවුතුරා බුදුවරයකු පහළ වන තුරු සසර රැඳෙන්නට සිදු වේ. එතෙක් බලාපොරොත්තු නොවී ඉක්මනින් නිවන් දකිනු කැමැත්තෝ පසේ බුදුබව පතති. ශ්‍රාවක බෝධියට පිරිය යුතු කාලය කෙටි වුවද, ලොවුතුරා බුදුවරයකු පහල වන තෙක් ඔවුනට බෝධියට පැමිණිය හැකි නො වන බැවින් පසේ බුදුවරුන්ට වඩා දීර්ඝ කාලයක් ඔවුන්ට සසර රැඳෙන්නට සිදු වන බවක් පෙනෙන්නට ඇත. එනිසා එයින් ද පසේ බුද්ධත්වය උතුම් ය.


ශ්‍රාවකයන් වීමට නොහැකි වූයේ නමුත් බුදුවරයන් ගේ සසුන්වල පිළිවෙත් පුරා රහත් නුවූ පින්වත්හු ද ප්‍රත්‍යේක සම්බෝධිය පතති.


“යේ පුබ්බබුද්ධෙසු කතාධිකාර

අලද්ධමොක්ඛා ජිනසාසනෙසු

තෙනෙව සංවෙගමුබෙන ධීරා

විනාපි බුද්ධෙහි සුතික්ඛපඤ්ඤා

ආරම්මණෙනාපි පරිත්තකෙන

පච්චෙකබොධිං අනුපාපුණන්ති”


මෙසේ පච්චේකබුද්ධාපදානයෙහි ගාථාවක් දක්වා තිබේ. එහි තේරුම පෙර බුදුවරයන් කෙරෙහි කළ පින් ඇත්තා වූ බුදුසසුන්වල දී නිවන් නො ලැබූ යම් කෙනෙක් වෙත් ද ධෛර්ය්‍යවත් වූ තියුණු නුවණැත්තා වූ ඒ පින්වත්හු ඒ සංවේගයෙන් ම බුදුවරයන්ගෙන් වෙන් ව වූව ද සුළු කරුණකින්ම ප්‍රත්‍යේක සම්බෝධියට පැමිණෙත් ය යනු යි.


මෙසේ සන්සුන් ඉඳුරන් ඇති, සන්සුන් මනසක් ඇති, ලොවෙහි ඉපද, ලොවෙහිම දක්නට ඇති කාමයන්ගේ ආදීනව සලකමින් ලොවෙන් එතෙර වූ සියලු පසේ බුදුරජාණන් වහන්සේලා පාමුල මේ වචන ස්වල්පය පාපිස්නාවක් වන සේ පූජාවක් කොට තබා පසේ බුදුවරුන් ගැන කරුණු දක්වා සිදු කළ මේ වර්ණනාව මෙතෙකින් අවසන් කරන මා මිනිසුන්ගේ නිර්වාණය එක සිතින් පතන කිරුළපන ධම්මවිජය හිමි නම් වම්හ.


ගතපච්චාගත වත


තමන්ගේ කර්මස්ථානය ගමට පිඬු සිඟා වඩනා කල්හි ගෙන යාම හා ආපසු එන කල්හි ගෙන ඒම ද ගත පච්චාගත වත ය. කර්මස්ථානය ගෙන යාම ය යනු පිඬු සිඟා වඩනට පටන් ගත් තැන් සිට අනෙකකට සිත යොමු නො කොට කර්මස්ථානය මෙනෙහි කරමින් යාම ය. ආපසු ගෙන ඒමය යනු එන කල්හි ද අනෙකකට සිත යොමු නො කොට කර්මස්ථානය මෙනෙහි කරමින් ම ඒමය. එහි පිළිවෙල මෙසේ දත යුතු ය.


කර්මස්ථානය ගෙන යන ආපසු නො ගෙනෙන භික්ෂුව ය, කර්මස්ථානය නො ගෙන යන ආපසු එන කල්හි ගෙනෙන භික්ෂුව ය, කර්මස්ථානය නො ගෙන යන නො ගෙන එන භික්ෂුව ය, කර්මස්ථානය ගෙන යන්නා වූ ද ආපසු ගෙනෙන්නා වූ ද භික්ෂුව ය යි මේ සස්නෙහි භික්ෂූහු සතර දෙනෙක් වෙති.


එක් භික්ෂුවක් දවල් කාලයේ හා රාත්‍රියේ ප්‍රථම යාමයේ ද නො නිදා සක්මන් කිරීම ය, හිඳීම ය යන ඉරියව් දෙකින් වෙසෙමින් භාවනාවෙහි යෙදෙමින් ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියේ මධ්‍යම යාමයේ සිහියෙන් යුක්තව නැඟී සිටින වේලාව සිත්හි තබා ගෙන සැතපී පශ්චිම යාමයේ පිබිද සක්මනින් හා හිඳීමෙන් කර්මස්ථානය මෙනෙහි කරමින් ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදෑසනින් සෑ-මලූ, බෝ-මලූ වල වත් කරයි. බෝධියට පැන් වත්කරයි. විහාරයේ පැන් තිබිය යුතු තැන්වලට පැන් ගෙනවුන් තබයි. ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ වත් මැනවින් සම්පාදනය කරයි. ඉතිරි කුඩා මහත් වත් ද සපයයි.


ඒ භික්ෂු තෙමේ ශරීරය පිරිසිදු කරගෙන සෙනසුනට පිවිස, ශරීරය උණුසුම් ගන්වමින් කර්මස්ථානය මෙනෙහි කොට, පිඬු සිඟා යා යුතු කාලය පැමිණි කල්හි නැඟිට කර්මස්ථානය නො හැර ම පා සිවුරු ගෙන කමටහන මෙනෙහි කරමින් ම සෑ-මලුව කරා යයි. ඉදින් ඒ භික්ෂුව මෙනෙහි කරන කමටහන අට්ඨික සඤ්ඥාව හෝ මරණසතිය හෝ බුද්ධානුස්සතිය හෝ වේ නම් එය මෙනෙහි කරමින් ම සෑ-මලුවට පිවිසෙයි. ඉදින් මෙනෙහි කරන කමටහන බුද්ධානුස්සතිය හැර අනිකක් නම් භික්ෂුව විසින් එය සෑ-මලුවට නඟින පඩිපෙළ මුල අතින් ගෙනා බඩුවක් තබන්නාක් මෙන් තබා, බුද්ධාලම්බන ප්‍රීතිය ගෙන සෑ-මලුවට නැග, සෑය මහත් නම් තුන් යලක් පැදකුණු කොට සතර තැනක දී පසඟ පිහිටුවා වැඳිය යුතුය. සෑය කුඩා නම් තුන් වරක් පැදකුණු කොට, අට තැනක පසඟ පිහිටුවා වැඳිය යුතු ය.


ඉක්බිති බෝ-මලුවට ගොස් දිවමන් බුදුනට සෙයින් ගෞරව දක්වා බෝධි වන්දනාව කළ යුතුය. මේ අටුවාවල වැඳිය යුතු හැටි දක්වා තිබෙන ආකාරය ය.


මෙසේ ඒ භික්ෂුව සෑය හා මහ බෝ වැඳ කමටහන තැබූ තැනට පැමිණ තැබූ බඩුවක් ගන්නාක් මෙන් කමටහන ගෙන, එය මෙනෙහි කරමින් ගම සමීපයට ගොස්, කර්මස්ථාන ශිර්ෂයෙන් ම ගම් වැදීමේ දී රැකිය යුතු සිකපද රැකෙන සේ සිවුරු හැඳ පොරවා පිඬු පිණිස ගමට පිවිසෙයි. ගම්වැසියෝ ඒ භික්ෂුව දැක” අපගේ හාමුදුරුවෝ වැඩම කළහ‘ යි පෙර ගමන් කොට පාත්‍රය ගෙන ගෙයක හෝ ආසන ශාලාවක හෝ හිඳුවා කැඳ පිළිගන්වා දවල් දානය පිළියෙල වනතුරු භික්ෂුවගෙන් පැන හෝ විචාරති. බණ අසන්නට හෝ සැරසෙති. ආරාධනයක් නැතිව වුව ද ජන සංග්‍රහය පිණිස බණ කිය යුතු යයි ආචාර්යයෝ කියති. කර්මස්ථානයෙන් වියුක්ත වූ ධර්මකථාවෙක් නැත. එබැවින් ඒ භික්ෂුව කර්මස්ථාන ශිර්ෂයෙන් ම බණ කියා දන් වළඳා අනුමෝදනය කොට ආපසු එන්නට යුතු ය.


පහන් වූ ගම් වැසියෝ පසු ගමන් කිරීම් වශයෙන් භික්ෂුව හා එති. භික්ෂුව ඔවුන් හා කථා කරමින් අවුත් ඔවුන් නවත්වා මඟට බසී. පළමු පිඬු සිඟා වළඳා නික්මුණු භික්ෂු සාමණේරයෝ ඒ භික්ෂුව දැක පා-සිවුරු පිළිගනිති. එසේ හමුවන්නා වූ භික්ෂු සාමණේරයන් හා ද ගිහියන් හා ද කථා කරමින් ඒ භික්ෂුව විහාරයට එයි. මේ කමටහන ගෙනයාම පමණක් කොට ආපසු නො ගෙනෙන භික්ෂුව ගේ ප්‍රතිපත්තිය ය.


රාත්‍රියෙහි නිරාහාර ව කමටහන් මෙනෙහි කොට උදෑසන වත් සපයන්නා වූ ඇතැම් භික්ෂුවක ගේ පාචකාග්නිය උත්සන්න වේ. එයින් භික්ෂුව වෙහෙසට පත් වෙයි. ක්ලාන්ත වෙයි. එයින් හේ කමටහන මැනවින් මෙනෙහි කිරීමට නො සමත් වෙයි. ඒ භික්ෂුව උදෑසනින්ම පා-සිවුරු ගෙන ඉක්මනින් චෛත්‍යය හා බෝධිය වැඳ, ඉක්මනින් ගොස් කැඳ පිණිස ගමට පිවිසෙයි. ගමෙහි හැසිර කැඳ ලබා ආසන ශාලාවකට පිවිස කැඳ වළඳන්නට පටන් ගනී.


කැඳ උගුරු දෙක තුනක් වැළඳීමෙන් කුසගින්න සන්සිඳුණු පසු භික්ෂුව ඉතිරි කැඳ කර්මස්ථාන ශිර්ෂයෙන් වළඳා පාත්‍රය හා මුව සෝදා ගෙන, පිඬු සිඟා යාමට කාලය පැමිණෙන තුරු එහි ම කමටහන මෙනෙහි කරමින් වැඩ හිඳ, කාලය පැමිණි කල්හි කමටහන මෙනෙහි කරමින් ම පිඬු සිඟා වැඩ, කර්මස්ථාන ශිර්ෂයෙන් ම අහර වළඳා කර්මස්ථානය මෙනෙහි කරමින් ම විහාරයට ආපසු පැමිණෙයි. මේ කමටහන නො ගෙන යන ආපසු එන කල්හි ගෙනෙන භික්ෂුව ගේ ප්‍රතිපත්ති ය.


මෙසේ පෙර බුදු සස්න පැවති ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස කරවන ලද බොහෝ ආසන ශාලාවෝ වූහ. ඒවායේ අසුන්වල හිඳ කැඳ වළඳා පිඬු සිඟා යාමේ වේලාව පැමිණෙන තුරු ඒ අසුන්වල ම හිඳ භාවනා කොට රහත් වූ භික්ෂූන්ගේ ප්‍රමාණයක් නැති බව ද, එකල ලක්දිව ඒ ඒ තැන්වල තුබූ ආසන ශාලාවල යම්කිසි භික්ෂුවක් කැඳ වළඳා භාවනා කොට රහත් නොවූ අසුනක් නුවූ බව ද අටුවාවේ දක්වා තිබේ.


සියලු වත් බිඳ දමා කමටහන් මෙනෙහි කළ යුතු බවවත් නො සිතා ප්‍රමාද ව වාසය කරන්නා වූ භික්ෂුව, කාම විතර්කාදියෙන් රාත්‍රිය ඉක්මවා උදෑසන - පා - සිවුරු ගෙන කථා කරන්නට කෙනකු ලද හොත් කථා කරමින් ද, නො ලද හොත් කාමවිතර්කාදියෙන් ද යුක්තව ගමට පිවිස, පිඬු සිඟා වළඳා ගිහියන් හා අනනුලෝමික කථාවෙන් කල් ගෙවා, කාමවිතර්කාදියෙන් යුක්ත ව හෝ මඟ හමුවන්නවුන් හා තිරශ්චීන කථා කරමින් හෝ විහාරයට පැමිණෙන හිස් පුද්ගලයා කමටහන නො ගෙන යන, නො ම ගෙන එන භික්ෂුව ය.


ගතපච්චාගත වත පුරන භික්ෂුව නම් කමටහන ගෙන ගොස් නැවත ගෙන එන්නා වූ භික්ෂුව ය. වැඩ කැමති කුලපුත්‍රයෝ බුදු සස්නෙහි පැවිදිව, දස දෙන - විසි දෙන - තිස් දෙන - සතළිස් දෙන - පනස් දෙන - සියක් දෙන එක් ව මහණ දම් පුරති. “ඇවැත්නි, ආයුෂ්මත්හු ණය ගෙවා ගත නො හෙන නිසා හෝ, බිය නිසා හෝ, ජීවත් විය නො හෙන නිසා හෝ, පැවිදි වූවෝ නො වෙති. දුකින් මිදෙනු පිණිස ම පැවිදි වූවෝ ය. එසේ පැවිදි වූ ආයුෂ්මතුන්ට ප්‍රමාදවීමට සුදුසු නැත. එබැවින් ආයුෂ්මත්හු ගමනෙහිදී උපන් ක්ලේශය හිඳීම දක්වා නො පවත්වා ගමනෙහි දී ම දුරු කරත්වා. සිටීමෙහි දී හිඳීමෙහි දී සයනයෙහි දී ක්ලේශයක් උපන හොත් ඒ ක්ලේශය අන් ඉරියව්වකට ගෙන නො ගොස් ඒ ඒ ඉරියව්වේ දී ම දුරු කෙරෙත්වා”යි කථා කර ගෙන උන් වහන්සේලා වෙසෙති.


එසේ කථා කරගෙන හැසිරෙන්නා වූ ඒ භික්ෂූන් පිඬු සිඟා වඩිනා කල්හි යම්කිසි භික්ෂුවකට ක්ලේශයක් උපන හොත් ඒ භික්ෂුව වහා ඒ ක්ලේශය සිය සිතින් බැහැර කරයි. නො හැකි වුවහොත් ඉදිරියට නො ගොස් එහි ම නවතී. වැඩි මහලු පිළිවෙළින් යාම මිස ඉදිරියෙන් යන වැඩි මහලු භික්ෂුව පසු කොට යන සිරිතත් වතින් සම්පූර්ණ භික්ෂූන්ගේ නැත. එබැවින් කෙලෙස් උපන් භික්ෂුව සිටි කල්හි පසුව එන භික්ෂූහු ද සිටිති.


එකල්හි කෙලෙස් ඇති වුණු භික්ෂුව තමාට ම තමා අවවාද කරන්නේ “මහණ, තට කෙලෙස් ඇති වූ බව මේ අයුෂ්මත්හු ද දනිති. එය තට ලජ්ජා වීමට කරුණෙකි. වහා එය දුරු කරව” යි අවවාද කරගෙන එකෙණෙහි ම එය බැහැර කොට එතැන දීම ආර්යය භූමියට පැමිණෙන්නේ ය. නො හැකි වුවහොත් එතැන ම හිඳ ගනී. පසුව එන්නාහු ද එසේ ම හිඳ ගනිති. කෙලෙස් උපන් භික්ෂුවකට එය දුරු කොට එතැනදී ම ආර්ය භූමියට පැමිණිය නො හැකි වුව හොත් එය යට කොට කර්මස්ථානය මෙනෙහි කරමින් යන්නේ ය. කර්මස්ථානයෙන් තොර වූ සිතින් පිය නො නඟන්නේ ය. ප්‍රමාදයකින් කෙලෙස් සහිත සිතින් ඉදිරියට ගියේ නම් කෙලෙස් උපන් තැනට ම ආපසු එන්නේ ය.


ආලින්දකවාසී මහා ඵුස්සදේව තෙරුන් වහන්සේ එකුන් විසිවසක් ගතපච්චාගත වත පිරූහ.


කෙලෙස් ඇති වී අමතක වී ඉදිරියට ගමන් කළ හොත් එය දැනුණු වහාම උන් වහන්සේ කෙලෙස් උපන් තැනට ආපසු අවුත්, එය දුරු කර ගෙන ම ඉදිරියට යන්නාහ. උන්වහන්සේ ඉදිරියට යමින් ද ආපසු එමින් ද යනු දක්නෝ “මේ හාමුදුරුවෝ නැවත නැවත ආපසු එමින් යන්නාහ. මුන්වහන්සේ නැති වුණු දෙයක් සොයත් ද, නැතහොත් පාර වරදවා ගෙන යෙත්දැ”යි කථා කරති. තෙරුන් වහන්සේ ඒවාට ඇහුම් කන් නොදී කමටහන මෙනෙහි කරමින් ම ගමන් කරති. උන්වහන්සේ වත පුරා විසි වසක් තුළ දී සියලු කෙලෙසුන් නසා රහත් වූහ.


රහත් වූ දිනයේ දී උන් වහන්සේ ගේ සක්මනේ කෙළවර වසන දෙවියා පහන්වලින් මෙන් ඇඟිලිවලින් එළිය විහිදුවමින් උන් වහන්සේට ගෞරව කෙළේ ය. සතර වරම් දෙවියෝ ද, සක් දෙව් රජ ද, සහම්පති බ්‍රහ්ම රාජයා ද ඒ පෙදෙස බබුළුවමින් පැමිණ සිටියෝය.

වනවාසී මහාතිස්ස ස්ථවිරයන් වහන්සේ රාත්‍රියේ දී ආලෝකය දැක ”රාත්‍රියේ දී ආයුෂ්මතුන් සමීපයේ දක්නට ලැබුණු ආලෝකය කවරේදැ”යි විචාළෝය. තෙරුන් වහන්සේ ”ආලෝකය නම්, පහන් ආලෝකයක් ද විය හැකි ය. මාණික්‍යාලෝකයක් ද විය හැකි ය” යි කීහ. මහාතිස්ස තෙරුන් වහන්සේ ”ආයුෂ්මත්හු කාරණය සඟවති” යි නැවත නැවතත් විචාළ කල්හි කාරණය සිදු වූ සැටියට ප්‍රකාශ කළහ.


කාළවල්ලි මණ්ඩප වාසී මහානාග තෙරුන් වහන්සේ ද ගතපච්චාගත වත පිරූහ. උන් වහන්සේ පළමුවෙන් “භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රධානයට පූජා කෙරෙමි”යි සත් වසක් නොනිදා ම භාවනා කළහ. නැවත සොළොස් වසක් ගත පච්චාගත වත පුරා රහත් වූහ. උන් වහන්සේ කර්මස්ථානයෙන් යුක්ත වූ සිතින් ම පිය නඟමින් කර්මස්ථානයෙන් තොර වූ සිතින් ඉදිරියට ගිය හොත් ආපසු එමින් ගම සමීපයට ගොස්, පාත්‍රය සෝදා ආහාර පිළිගැන්වූ ද, වැන්දා වූ ද, මිනිසුන්ට “සුවපත් වේවා” යි කියන්නට යමෙන් ද, “කර්මස්ථානයට හානියක් නො වේවා” යි මුඛයේ ද පැන් තබා ගෙන ගමට පිවිසෙති.


යම් කිසිවකු විසින් දවස හෝ භික්ෂු ගණන හෝ ප්‍රශ්නයක් හෝ විචාළ හොත් ඒ පැන් ගිල එයට පිළිතුරු දෙති. එබඳු ප්‍රශ්නයක් අසන කෙනකු නුවුව හොත් මුව තුළ පැන් තබා ගෙන ම පිඬු සිඟා ගම් දොර දී ඒ පැන් ඉවත ලා යන්නාහ.


මෙහිදී කිව යුත්තක් ද පෙනේ. සම්පූර්ණයෙන් ම කථා නො කිරීම තිර්ථකයන් ගේ ව්‍රතයක් මිස බෞද්ධ භික්ෂූන් ගේ සිරිතක් නම් නොවේ. ”න භික්ඛවෙ මුගබ්බතං තිත්ථිය සමාදානං සමාදියිතබ්බං, යො සමාදියෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යි මහණෙනි, තිර්ථකයන් ගේ සමාදානයක් වූ මුග ව්‍රතය (ගොළුවකු මෙන් හැසිරීම) සමාදන් නො විය යුතු ය. යමෙක් සමාදන් වේ නම්, ඒ මහණ හට දුකුළා ඇවැත් වේය”යි බුදුන් වහන්සේ සික පදයක් ද පනවා තිබෙන බැවින්, ලොව රවටන්නට කථා නො කරන අය මිස ශික්ෂාකාමීහු කථා නො කිරීමේ ව්‍රතය සමාදන් නො වෙති.


ගතපච්චාගත වත පුරන්නා වූ භික්ෂූහු කර්මස්ථානයෙන් යුක්ත චිත්තයෙන් ම පිය නඟමින් ගම සමීපයට ගොස්, මුඛයෙහි පැන් තබා ගෙන සුරා ධූර්ථාදි කලහ කාරයන් නැති, චණ්ඩ හස්ති, අශ්වයන් නැති විථිවලට වැද, නො සම මඟක යන දිය කරත්තයක් සේ සෙමින් ගෙපිළිවෙලින් වඩිති. පිඬු සිඟා අවසන් වූ පසු කර්මස්ථානයෙන් යුක්ත සිතින් ම ගමෙන් පිටත පහසු තැනකට හෝ විහාරයට ම හෝ පැමිණ සුදුසු තැනක හිඳ, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාව උපදවා, කරත්ත රෝදයට තෙල් දැමීමේ උපමාව ය, වණයට බෙහෙත් ගැල්වීමේ උපමාව ය, පුත්‍ර මාංසෝපමාව ය යන උපමාවලින් ප්‍රත්‍යවේක්ෂා කෙරෙමින් ආහාරය වළඳති.


උන් වහන්සේලා ක්‍රීඩා පිණිස ආහාර නො වළඳති. මද වඩනු පිණිස නො වළඳති. ඇඟ තර කරවනු පිණිස නො වළඳති. ඇඟ පැහැපත් කරනු පිණිස නො වළඳති. වළඳා අවසන් වූ පසු ආහාර ක්ලාන්තය සන්සිඳෙනු පිණිස මඳක් විවේක ගෙන, දවල් කාලයේ ද රාත්‍රියේ ප්‍රථම යාමයේ හා පශ්චිම යාමයේ ද කර්ම ස්ථානයන් ම මෙනෙහි කරන්නාහ. එසේ මහණ දම් පුරන්නා වූ භික්ෂූහු ගත පච්චාගත වත සම්පූර්ණ කරන්නෝ ය. මේවා තව විස්තර වශයෙන් දත යුත්තේ ය.


කියන ලද පරිදි ගතපච්චාගත වත පුරන්නා වූ භික්ෂු තෙමේ හේතු සම්පත් ඇතියෙක් වේ නම්, ප්‍රථම වයසේ දී ම රහත් වෙයි. නොවී නම් මධ්‍යම වයසේ දී හෝ රහත් වෙයි. එසේ ද නොවී නම් මරණාසන්නයේ දී හෝ රහත් වෙයි. එසේ නො වී නම් දෙ වන ජාතියේ දී දිව්‍යපුත්‍රයෙක් හෝ වී රහත් වෙයි. එසේ ද නො වී නම් අබුද්ධෝත්පාද කාලයේ දී පසේ බුදු කෙනෙක් හෝ වෙයි. එසේ ද නො වී නම් බාහිය දාරුචිරයන් මෙන් බුදුවරයකු ගේ හමුවෙහි වහා රහත් වෙයි. සැරියුත් මහ තෙරුන් වහන්සේ මෙන් මහා ප්‍රාඥයෙක් හෝ වෙයි. මුගලන් මහ තෙරුන් වහන්සේ මෙන් සෘද්ධි ඇතියෙක් හෝ වෙයි. මහ කසුප් තෙරුන් වහන්සේ මෙන් ධුතාඞ්ගධාරියෙක් හෝ වෙයි. අනුරුද්ධ තෙරුන් වහන්සේ මෙන් දිවැස් ඇතියෙක් හෝ වෙයි. උපාලි තෙරුන් වහන්සේ මෙන් විනයධරයෙක් හෝ වෙයි. පුණ්ණ තෙරුන් වහන්සේ මෙන් ධර්ම කථිකයෙක් හෝ වෙයි. රේවත තෙරුන් වහන්සේ මෙන් ආරණ්‍යකයෙක් හෝ වෙයි. ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙන් බහුශ්‍රැතයෙක් හෝ වෙයි. රහල් තෙරුන් වහන්සේ මෙන් ශික්ෂාකාමියෙක් හෝ වෙයි.


එනිසා මේ සියල්ල එකඟ වූ සිතින් නැවත නැවත සලකා චිත්ත වීර්ය්‍ය ඇති සත්පුරුෂයන් මේ වතෙහි සමාදන්ව භයානක දුක් ඇති ඝොරතර සසරෙන් දුක සේ හෝ නික්මිය යුතු ය.

bottom of page