Sujatha Puthra Meditation Center
Your Membership ID
8.3. පොක්ඛරසාති බමුණා ඇසූ භාග්‍යවතුන් වහන්සේ ගේ ගුණ
පොක්ඛරසාති බමුණා යනු මහත් ආශ්චර්යයක් ඇති පුද්ගලයෙක් ය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ට මහත් දන් දී ධර්ම දේශනාව අසා දෙව්ලොව උපන්නේ ය. නැවත මිනිස් ලොවට එන්නේ මවුකුස විසීම පිළිකුල් කොට හිමවතේ මහා විලක පියුම් ගැබක උපන්නේ ය. ඒ අසල වාසය කරන තවුසෙක් එය දැක නටුවෙන් කඩන්නේ මල පිපුණේ ය. අභ්‍යන්තරෙයහි රන්සුණු පිඬක් වැනි දරුවෙක් දැක මොහු පින් ඇත්තෙක් විය යුතු ය සිතා පෝෂණය කරන්නට පටන් ගත්තේ ය. හෙතෙම සත් වයස් වූ කල පටන් ම ත්‍රිවේදය ඉගැන්වී ය.දරුවා ත්‍රිවේදයෙහි පරතෙරට ගොස් පසු කලෙක දඹදිව අග්‍ර බ්‍රාහ්මණයා විය. ඔහු ගේ ශිල්ප වරෙක දුටු කොසොල් රජතුමා ඔහුට උක්කට්ඨා නම් මහා නගරය ම දායාදයක් කොට දුන්නේ ය. ඔහු පියුමෙහි සයනය කළ බැවින් පොක්ඛරසාති නම් විය.
ඔහු ගේ සිරුර සුදු නෙලුමක් මෙන් ද, දෙව්නුවර ඇති තොරණක් මෙන් ද බබළයි. හිස ඉන්ද්‍රනීල මැණිකක් මෙන් කාලවර්ණ විය. දෙනෙත් නිලුපුල් බඳු ය. යටි රැවුල සඳ මඩලෙහි ඇති වැසි වලාකුළක් මෙන් විය. නාසය රිදී නළයක් මෙන් වට ය. සුපරිශුද්ධ ය. අතුල්, පතුල් සහ මුහුණ ආදිය ලාඛ රසය හෙවත් ලාකඩ වලින් පිරියම් කළාක් මෙන් විය. මෙසේ මේ බමුණා ගේ ආත්ම භාවය සෝභාවෙන් අග තැන්පත් විය. රජු නැති තැනක රජ කිරීමට තරම් සශ්‍රීක විය. එහෙයින් මෙසේ නෙලුමක් බඳු බැවින් ද පොක්ඛරසාති යන නම විය.
භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් ලොව බලන කල මේ පොක්ඛරසාතිව මහා කරුණාවෙන් දැක ඔහුට අනුග්‍රහ පිණිස නිබද්ධ චාරිකාවෙන් වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ගේ මහත් කීර්තිය ‘භවත්නි, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ පන්සියයක් භික්‍ෂුන් වහන්සේලා සමඟ මෙහි වැඩම කොට ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණ නිසා අරහං ය. සම්මා සම්බුද්ධ ය. විජ්ජා චරණ සම්පන්න ය. සුගත ය. ලෝකවිදු ය. අනුත්තරෝ පුරිස දම්ම සාරථි ය. දෙවි මිනිසුන්ට ශාස්තෘ වන්නේ ය. බුද්ධ ය. භගවත් ය. මේ සත්තව වර්ගයා පිළිබඳ ව සිය නුවණින් ම විශිෂ්ඨ ලෙස අවබෝධ කළේ ය. මුල මැද අග යහපත් වූ ද, මනා අර්ථ ඇත්තා වූ ද, ව්‍යඤ්ජනයෙන් ද, සර්වාකාරයෙන් ම ද සම්පූර්ණ ඇති පිරිසිදු ධර්මය දෙසන සේක. ශාසන බ්‍රහ්මචරියාව පවසන සේක. එබඳු රහතුන් ගේ දැකීම හිත ගෙන දෙන්නකි.’ යි වශයෙන් මුළු මහත් නුවර පුරා සැරිසරන්නට වූයෙන් එය පොක්ඛරසාති ගේ කනට ද වැටුණේ ය.
පොක්ඛරසාති තමන් ගේ දක්ෂත ම ශිෂ්‍යයා වන අම්බට්ඨ නම් වූ මාණවයා අමතා “දරුව අම්බට්ඨ ය. ශාක්‍ය පුත්‍ර වූ, ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉච්ඡානංගල නම් වන ළැහැබෙහි වසන සේක. උන්වහන්සේ ගැන මහත් කීර්ති රාවයක් නුවර පුරා සැරිසන්නේ ය. ඔබ ශ්‍රමණ භවත් ගෞතමයන් වෙත එළැඹ උන්වහන්සේ ගැන පැන නැංගා වූ කීර්ති රාවයට උන්වහන්සේ සැබවින් ම සුදුසු ද? නැත හොත් එසේ විද්‍යමාන නො වූ ගුණ පිළිබඳව මේ හඬ නැංගා ද යන්න පිරික්සා බලව. මේ කීර්ති රාවය අනුව ම ශ්‍රමණ ගෞතමයන් වේ ද, නැත හොත් නොවේ ද? යන්න දැන අපට පවසනු මැනව. එයින් පසු අපි උන්වහන්සේ දැක ගන්නෙමු”යි පැවසී ය.
කුමක් හෙයින් මෙසේ පැවසීද යත්; ‘මේ ලෝකයෙහි බොහෝ අය මම බුද්ධ ය. මම බුද්ධ ය යැයි ප්‍රසිද්ධ නම ගෙන හැසිරෙති. ඒ නිසා ආරංචි මාත්‍රයෙන් ම එළඹෙන්නට මම සුදුසු නොවේ. අතවැසියා යවා පිරික්සන්නෙමි’ යි සිතා එසේ පැවසී ය.
මේ බමුණන් තමන් ඉතා උසස් ජාතියක වන්නේ ය. ශ්‍රමණා දී මහණුන් බඹහු ගේ පිටි පතුලෙන් උපන් ගර්හිත කොට්ඨාශයක් යැයි ද සලකාගෙන වාසය කළෝ ය. එබැවින් මෙසේ කරන ලද්දේ ය.
මේ ආචාර්යවරයා ගේ උපදේශය අසා අම්බට්ඨ මාණවයා විසින් “භවත, කෙසේ නම් එය සත්‍යයක් ද? අසත්‍යයක් දැ?යි දැනගන්නෙමි ද?” තම ආචාර්යවරයා වෙතින් විමසුවේ ය.
ශිෂ්‍යයාගෙන් මේ ප්‍රශ්ණය අසා පොක්ඛරති ‘මොහු මහ පොළොව මත සිට ගෙන එය කොහේ දැ යි අසන්නාක් මෙනි.
සූර්යයාලෝකයෙන් ම ලොව බලා සූර්යයා කොහිදැ යි අසන්නාක් මෙනි. මොහු වෙත කරුණු සිහිපත් කළ යුතු යැ’යි සිතී ය.
අනතුරුව තමන් ගේ ශාස්ත්‍රයේ ආ මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව දක්වන්නේ “දරුව මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව මා විසින් නුඹට උගන්වන ලදී. එය පිරික්සව. ඒ ලකුණු තිස්දෙක ඇති පුරුෂයා ඒකාන්තයෙන් නිෂ්ඨා දෙකකින් පමණක් සම්පන්න ය. ගිහිව වාසය කළ හොත් සක්විති පදවිය ද, තපසට ගියහොත් බුදු බව ලැබීම ද නියත ය. එය පිරික්සව’යි ස්වකීය වේද ශාස්ත්‍රය සිහිපත් කර දුන්නේ ය. මෙය අසා අම්බට්ඨ මාණවකයා විසින් “එසේ ය” කියා ගුරුවරයා වැඳ ඉච්ඡානංගල වන ලැහැබ වෙත පිටත්ව ගියේ ය.
මේ අම්බට්ඨ මාණවයා භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන ආරාමයට පිවිසීමෙන් අනතුරුව දහවල් ප්‍රණීත භෝජන ලැබීමෙන් පසු ව ථීන මිද්ධය දුරු කිරීම පිණිස සක්මනේ යෙදී සිටි පාංශකූලික භික්‍ෂුන් වහන්සේලාව දැක “භවත්නි, ඒ භවත් ගෞතමයෝ දැන් කොහි වසන්නේ ද? අපි ඒ භවත් ගෞතමයන් දැකීම පිණිස ආවේ යැ”යි කීවේ ය.
භික්‍ෂුන් ද මේ අම්බට්ඨ මාණවයාව වේද ප්‍රාප්ත ප්‍රසිද්ධිය නිසා හඳුනා ගෙන ‘මෙවන් කුලපුතුන් සමඟ කථා කිරීම අප ගේ භාග්‍යවතුන් වහන්සේට බරක් නොවේ ය’ යැයි සිතා “අම්බට්ඨය, මේ වැසූ දොර ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැන විහාරයේ ය. නිශ්ශබ්ද ව එතැනට ගොස්, ඇතිරූ වැලි වත් නො වනසන සේ සෙමෙන් පිලට පිවිස, නියඟින් දොරේ යතුරු සිදුර අභියස තට්ටු කරව. එවිට භාග්‍යවතුන් වහන්සේ දොර හරිනු ඇතැ”යි කීවේ ය.
අම්බට්ඨ ද කී පරිදි කළා ය. භාග්‍යවතුන් වහන්සේ දොර දෙසට අත දිගු කළ විට දොර ඉබේ ම ඇරිණි. චිත්ත මාත්‍රයෙන් ම විවර විය. මෙතැන් පටන් සිදූ වූ කොටස 4.2 වන අනු මාතෘකාවේ දී දකවනු ලැබී ය.
මෙසේ 2.1 කොටසේ දී දැක් වූ පරිදි අම්බට්ඨ මාණවකයා ගේ සංවාදයෙන් පසු ව අම්බට්ඨයා පිටත් ව ගොස් තමන් ගේ ආචාර්යවරයා වන පොක්ඛරසාති හමුවේ “භවතාණෙනි, ඒ භවත් ගෞතමයන් ගේ ඇති ගුණ පිළිබඳ ව ම මේ නුවර කීර්ති ඝෝෂාවක් පතළ විය. නැති ගුණ කෙරෙහි නොවේ. ඒ භවත් ගෞතම තෙමේ දෙතිස් මහා පුරුෂ ලකුණෙන් ද සම්පූර්ණ යැ”යි විස්තර සැල කර සිටියේ ය.
මෙහි දී පොක්ඛරසාති බමුණා විසින් අම්බට්ඨයා ගෙන් “නුඹලා ගේ කථා සල්ලාපය කෙබඳු ආකාරයේ එකක් වූයේ දැ?”යි විමසනු ලැබුව අම්බට්ඨයා විසින් “නුඹවත් අපවත් දාස බවට ආරෝපණය කොට, වැසී තිබූ සියල්ල හෙලි කළේ ය” යැයි සිදු වූ සියල්ල සැලකර සිටියේ ය. එය අසා පොක්ඛරසාති බමුණා කිපුණේ ය. නො සතුටු සිත් ඇති බවට “අහෝ අපගේ ඊනියා උගත් පණ්ඩිතයා, නුඹ වැන්නෙකු ඇසුරු කිරීමෙන් මම ද දුගතියට පත් වූවෙක් වන්නේ යැ”යි පවසා ඔහුට පයින් පහර දී බිමට ඇද දැමුවේ ය. අනතුරුව පසු දින උදා වූ පසු භාග්‍යවතුන් වහන්සේ හමුවට ගියේ ය. ගොස් අම්බට්ඨයා ක්‍ෂමා කළේ ය. අනතුරුව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කොට වැසී ඇති පුරුෂ ලක්ෂණ දෙක ද පෙර අම්බට්ඨයාට මෙන් ම සෘද්ධියෙන් දක්වනු ලදුව භාග්‍යවතුන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ම ය යැයි විශ්වාසය ගොඩ නඟා තමන් ගේ නිවසේ දානයට ආරාධනා කරන ලදී.
දානයෙන් පසුව සිදු කළ ධර්ම දේශනාව අසා පොක්ඛරසාති බමුණා සෝවාන් ඵලයට පත් වන ලදී.
(දීඝ නිකාය - අම්බට්ඨ සූත්‍රය)