Sujatha Puthra Meditation Center
Your Membership ID
8.1. එකල වැඩ සිටි වෙනත් ශාස්තෘවරු සමග සසඳා බැලීමේ දී භාග්‍යවතුන් වහන්සේ
දීඝ නිකායේ එන සාමඤ්ඤ ඵල සූත්‍රයේ දී එකල වැඩ සිටි ශාස්තෘවරු සය දෙනෙක් ගැන කරුණු හෙලි වේ.
එයින් එකෙක් පූර්ණ කස්සප නම් වෙයි. ඔහු උපදින විට ඒ කුලයේ තවත් දාසයන් අනූනව දෙනෙක් උපත ලැබුවේ ය. මොහු සිය වෙනියා වූ දාස පුත්‍රයා විය. එසේ පූර්ණය කරමින් ඉපදුණු බැවින් පූර්ණ නම් විය. මෙසේ මඟුල් දාසයා වූ බැවින් ඔහු කළ නරක දේක දී වත් එහි දුෂ්කෘතයක් ය කියන්නට කෙනෙක් නො වී ය. ඔහු ‘මා මෙහි කුමට වසන්නේ දැ’යි සිතා පලා ගියේ ය. අතර මග දී සොරු කණ්ඩායමක් විසින් ඔහු ගේ වස්ත්‍ර පැහැර ගන්නා ලදි. හේ කොළ වලින් හා තණ වලින් වත් ශරීරය වසාගන්නට නො දන්නා බැවින් උපන් වස්ත්‍රයෙන් ම එක් ගමකට පිවිසියේ ය. මිනිස්සු ඔහු දැක ‘මේ ශ්‍රමණයා අල්පේච්ඡ ය. රහත් ය. මොහු හා සමාන අල්පේච්ඡ කම් ඇති අයෙක් වෙනත් නොමැත’ යනුවෙන් සිතා කැවුම් බත් ආදිය පිළිගන්වා ඔහු වෙත එළඹුණ හ. හෙතෙම ද ‘මා වස්ත්‍ර නො හැඳි බැවින් මේ ලාභයන් උපන්නේ ය’ යැයි සිතා රෙදි ලැබුණ ද නො හැන්දේ ය. එය ම පැවිද්ද සේ ගත්තේ ය. මේ එම ශාස්තෘ ගේ පහළ වීම ය.
ඔහු කර්මය ප්‍රතික්ෂේප කරන්නෙක් විය. ඔහුට අනුව ප්‍රාණඝාතාදි ය කොතෙක් කළ ද සිදු වන පවක් නැත. යමෙක් මේ මහ පොළවේ ම සිටින සත්ත්වයන් මරා එක් මස් ගොඩක් කළ ද සිදු වන පාපයක් නැතැ යි කියයි. සිල් රැකීමෙන්, දන් දීමෙන් කිසිදු අර්ථයක් නොමැත යැයි කියයි. අක්‍රියාවාදය ඇත්තෙක් ය. ශාස්වත දෘෂ්ඨි ඇත්තෙක් විය.
මේ සාමඤ්ඤඵල සූත්‍රයේ දී අජාසත්ත රජු හට සොඳුරු රාත්‍රියක් ලැබ, ධර්ම කථාවක් කරනු කැමැත්තේ තමන් ලඟ සිටි අයගෙන් උපදෙසක් පැතුවේ ය. එහි දී එක් රාජ්‍ය ඇමතියෙක් විසින් ‘පැවිදි ව බොහෝ කල් ගත ව ඇති මේ පූර්ණ කස්සපයන් සමීපයට යමු’ යැයි යෝජනා කරන ලද්දේ ය.
ගුණ නැණ නැති අන්ධයා ගේ ශාස්තෘවරු පිළිබඳ කියවීම එයින් දත හැකි ය. පැවිද්දන් අතර නූගත් පැවිද්දන් ද සිටී. ඔවුන් ගේ ඉක්ම ගිය රාත්‍රීන් බොහෝ වෙත්. එයින් පමණක් පැවිද්දා ගේ ප්‍රඥාව මැනිය නො හැකි ය. ඒ බව නො දත් අඥානයෝ එකල රාජ සභාවේ ද සිට ඇති බවට මෙය එක් උදාහරණයකි. ඔවුන්ට අනුව පැවිදි ව නොබෝ කල් ඇත්තහු ගේ වචනය විශ්වාස කළ නො හැකි ය. එය අඥානයන් ගේ ම සිතිවිල්ලකි. මෝඩයන් ද වෙනසක් නැති ව වයසට යයි. එනිසා වයසින් ප්‍රඥාව තීරණය කළ හැකි නොවේ.
අජාසත්ත මේ අල්ප වූ ගුණය අසා කැමත්තක් නූපද වී ය. ඔහු පළමු ව මේ වෙනත් තීර්ථකයන් වෙත එළැඹ ඔවුන් කෙරෙහි කළකිරුණු සිත් ඇත්තෙක් විය. රජු ගේ ප්‍රාණඝාත කර්මය වසනු කැමති ව රජුට කර්මයක් කියා දෙයක් නැත්තේ ය යැයි කීවේ ය. ඔහු විසින් එම ශාස්තෘවරු අභියසට ද ගොස් ‘ශ්‍රමණ ඵල මොනවා දැ?’යි විමසා ඇත්තේ ය. ඔවුහු අඹ ගැන ඇසූ කල ලබු ගැන කියන්නාක් මෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු නො දී වෙනත් යමක් ම පැවසූවෝ ය.
ඇත්තෙන් ම අජාසත්තට මේ වන විට භාග්‍යවතුන් වහන්සේ ගැන අසා දැන ගත් ගුණයන් ගෙන් උන්වහන්සේ සමීපයට යන්නට කැමත්තක් ඇති වී තිබුණි. එබැවින් “මේ රාත්‍රිය සඳ රැසින් දැකුම්කළු ය. සිත පහදන යමෙක් ගේ ඇසුරක් ඇත්නම් කවර මහණ බමුණෙකු කරා එළැඹ ඇසුරු කළ යුතු ද?” යන කථාව වටින් පිටින් නිමිත්තක් දක්වනු පිණිස කළේ ය. ඔහු ගේ සිතේ තිබුණේ ම භාග්‍යවතුන් වහන්සේ දැකීමට යෑම ය. මාළිගාවේ වට පිට බලන්නේ ජීවකයන් ව දුටුවේ ය.
භාග්‍යවතුන් වහන්සේ ව දැක ගැනීමට තමන්ට ම යෑමට වුවමනාව තිබුණ ද, මගධ රාජ්‍යයේ අධිපති වූව ද අජාසත්ත රජුට ඊට සුදුසු පෞර්ෂයකින් ඒ වේලාවේ නො තිබුණේ ය. මන්ද යත්; මහා අපරාධ කර ඇති බැවිනි.
භාග්‍යවතුන් වහන්සේ ගේ උපස්ථායක වූ ද, ආර්ය ශ්‍රාවක වූ ද, බිම්බිසාර රජතුමා ව තමන් විසින් ම මරවන ලද්දේ ය. එය එක් කරුණක් ය. දේවදත්තයන් ගේ ඉල්ලීම පරිදි මත් කළ ඇතුන් දුන්නේ ය. දුනුවායන් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ වෙත බොහෝ අනර්ථ සිදු කර ඇත. එබැවින් තමාට එහි යෑමට සුදුසු පෞර්ෂයක් නො වී ය.
ජීවකව දැකීමෙන් ඔහු භාග්‍යවතුන් වහන්සේ ගේ උපස්ථායකයා ය. ඔහු ගේ සෙවණැල්ලට මුවා වී භාග්‍යවතුන් වහන්සේ දැක ගැනීමට හැකි වනු ඇතැයි සිතී ය. මෙම අවස්ථාවේ දී අනිත් සියළු ඇමති වරුන් තමන් ගේ රුචි පරිදි, නැණ පරිදි අනෙක් ශාස්තෘවරු ගැන වර්ණනා කරති. බොහෝ පිරිස් ඇතැ ය. පැවිදි ව බොහෝ කල් ඇතැ ය ආදී වශයෙනි. ජීවක පමණක් නිහඬව සිටි යේ ය.
මෙහි දී තවත් ඇමතිවරුන් විසින් පිළිවෙලින් පහත සඳහන් ශාස්තෘවරු අභියසට යෑමට යෝජනා කරන ලදි.
එයින් දෙවැනියා තමන් ගේ කුලුපගයා ගේ ගුණ කියන්නෙමියි සිතා මක්ඛලීගෝසාල ගැන කීවේ ය. මක්ඛලී යනු ඔහු ගේ නම වේ. ගවහලක උපන් බැවින් ගෝසාල යැයි කීවේ ය. ඔහු දිනක් මඩ සහිත බිමක තෙල් කළයක් රැගෙන යන විටක ඔහු ගේ ස්වාමියා විසින් ‘දරුව, වැටෙන්න එපා’ යැයි කීවේ ය. ඔහු පය පැකිලී ඇද ගෙන වැටුණේ ය. ස්වාමියාට බියෙන් පැන දුවන්නට පටන් ගත්තේ ය. ස්වාමියා ද පස්සෙන් හඹායන්නේ හැඳ සිටි වස්ත්‍රය කොනකින් අල්ලා ගත්තේ ය. හේ සළුව අත් හැර දමා නිර්වස්ත්‍රව ම පලා ගියේ ය. සෙසු සියලු තැන පූර්ණ කස්සප හා සමාන ය. ඔහු කර්මත් නැත, විපාකත් නැත යනුවෙන් හේතු ඵල දෙක ම ප්‍රතික්ෂේප කළ අයෙක් විය. ඔහුට අනුව සියලු සත්ත්වයෝ අසූ හතර කල්පයක් සංසාරයේ දිවි පවත්වා එයින් අනතුරුව ඉබේ ම විශුද්ධියට පත් වෙයි. නුවණැත්තෝ ද, අණුවනයෝ ද සියල්ලෝ ම මේ ලෙසින් විශුද්ධියට පත් වේ යන්න ඔහු ගේ දර්ශනය විය. මෙසේ ඔහු අහේතු අපරත්‍යය වාදියෙක් විය. නියති සංහති වාදියෙක් ද විය.
තෙවැනියා අජිත කේසකම්බලී නම් විය. අජිත යනු ඔහු ගේ නාමය යි. කෙස් කම්බිලියක් දරණ බැවින් කේසකම්බලී නම් විය. එහි කෙස් කම්බිලිය නම් මිනිස් කෙසින් කරන ලද්දකි. ඊට වඩා ඝණ කමක් ඇති වස්ත්‍රයක් ලොව නැත්තේ ය. එය ම ඝණ කම වැඩි ම වස්ත්‍රය වෙයි. මේ කේශ කම්බිලිය සීත කාලයට සීත ය. ඌෂ්ණ කාලයට ඌෂ්ණ ය. වස්ත්‍ර අතර ඇති ඝණ කම අධිකම වස්ත්‍රය වෙයි. රළු පහස ඇත්තේ ය. දුර්වර්ණ ය. දුර්ගන්ධ ය. එය භාග්‍යවතුන් වහන්සේ විසින් ම දේශනා කරන ලද්දේ ය. ඔහු විපාකය ප්‍රතික්ෂේප කරන්නෙක් විය. දුන් දෙයෙහි විපාක නැත්තේ ය වශයෙන් ඇති ඔහු ගේ දර්ශනය කිසිදු සත්ත්වයෙක් මරණින් මතු යලි නූපදින්නේ ය යන්න යි. හෙතෙම උච්ඡේදවාදියෙක් විය.
සතරවැනියා පකූධකච්චායන නම් විය. මොහු සිසිල් ජලය ප්‍රතික්ෂේප කරන්නෙක් විය. මළපහ සිදු කොට වූව ද ජලයෙන් සේදීමක් නො කරයි. උණු දිය හෝ කැඳ ආදිය ලැබුණොත් පමණක් සේදීම සිදු කරයි. මහ මග ඇති ජලය ස්වල්පයක් හෝ නදියක් හෝ පාගා ‘මාගේ ශීලය බිඳුණේ යැ’යි වැල්ලෙන් ස්තූපයක් කොට සිල් අධිෂ්ඨාන කොට යයි. ඔහු එවැනි කිසිදු අගයක් නැති ලබ්ධියක් ඇත්තෙක් විය. මොහු සත්ත්වයා කිසියම් කෙනෙක් විසින් නො මවන ලද අතර ධාතු සයක් පමණක් පවතී යන ධර්මයක් දේශනා කොට ඇත්තේ ය. ඔවුන් ගේ මියදීමක් ද නැති අතර හුදු ධාතු අතරින් ආයුධ ආදිය යෑමක් වෙයි යන්න සිතා ගෙන සිටියි. හෙතෙම ද එයින් ශාස්වත දෘෂ්ඨි ඇත්තෙක් ම විය.
පස්වැනියා සංජය බෙල්ලට්ඨිපුත්ත නම් විය. මොහු අමරාවික්ඛේප වාදියෙකි. යමෙක් පරලොවක් ඇත් දැ යි විමසූ කළ ඇතැ යි කියයි. පරලොවක් නැත් දැ යි විමසූ කළ නැතැ යි කියයි. මේවා කුසල් දැ යි විමසූ කළ මට එසේ නො සිතනේනේ ය ආදී වශයෙන් ආඳෙක් මෙන් පිළිතුරු දී ලිස්සා යයි. දාසියක ගේ පුතෙක් බව සැල ය.
සයවැනියා නිගණ්ඨනාතපුත්‍ර නම් විය. අපට හොඳ හෝ නරක කියා කෙලෙස් නැත. අපි කෙලෙස් ගැට නැත්තෝ වෙමු ය යන වාදයක් ඇති බැවින් නිගණ්ඨ නම් විය. නාත ගේ පුත්‍රයා යැයි නාතපුත්‍ර විය. මොහු කර්මවාදී ශාස්තෘවරයෙක් විය. මොහු නිර්වස්ත්‍ර ව සිටියේය. මොහු ද සිසිල් ජලය ප්‍රතික්ෂේප කර ඇති අයෙක් බව පෙලෙහි දැක් වේ.
මොහු ගේ ජෛන ආගමේ ඇතැම් කොටස් බුදු දහමට අනුකූල වේ. කාය කර්මය, චතුයාම සංවරය, අවිහිංසාව, කර්මය පුනරුත්පත්තිය විශ්වාස කිරීම ප්‍රධාන ඉගැන්වීම් අතර විය. අශුද්ධ වූ ලබ්ධිය නිසා ම දෘෂ්ඨි සහිත විය. මේ සියල්ල ගැන දැනීම ඇත්තා කළ යුතු සියල්ල කළ අයෙක් බව ඔහු සිතී ය.
මෙසේ රජ ඇමතිවරුන් විවිධ ශාස්තෘවරුන් ගේ නම් සිහිපත් කරන විට අජාසත්ත තෙම මෙසේ සිතී ය. ‘මම යම් අයෙකු ගේ වචන නො අසනු කැමැත්තේ නම්, ඒ ඒ කුළුපගයෝ ම මෙහි අදහස් දක්වති. යම් කෙනෙක් ගේ වචනයක් අසන්නට කැමැත්තෙන් වේ නම් ඒ කුළුපගයා භවනට පත් වූ ගුරුළෙක් මෙන් නිහඬ ව සිටියි. මෙය මට ඒකාන්තයෙන් ම අනර්ථයකි. මොහු මා විමසන තුරු නිහඬ ව සිටින්නේ උපශාන්ත ගති පැවතුම් ඇති භික්‍ෂුවක් මෙනි. ඔහු සමග මන්ත්‍රණය කළ යුතු ය’ යන්න යි.
අනතුරුව අජාසත්ත තෙම ජීවක වෙත හැරී ‘නුඹ නිහඬව සිටින්නේ මන් ද? ඔබට මෙවැන් ගුණ ඇති කුළුපග කිසිදු ශ්‍රමණයෙක් නැත් ද? මවුපියන් විසින් ශ්‍රද්ධාව නැමැති ධනය නුදුන්නේ ද? නුඹ ඒ ධනයෙන් දිළින්දෙක් ද?’ යැයි විමසී ය.
අනතුරුව ජීවක ‘දැන් මා නිහඬ ව සිටිය යුතු වේලාව නොවේ ය. මාගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණය මේ සභාවෙහි හුවා දැක්විය යුතු ය’ යන්න සිතා හිඳ ගෙන සිටි අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන දෙව්රම වෙත හැරී, ඒ දෙස බලා පසඟ පිහිටුවා වැඳ දෑත් බැඳ වැඳ ගෙන ‘මහ රජතුමනි, එසේ නො සිතනු මැනව. මාගේ භාග්‍යවත් ශාස්තෘන් වහන්සේ මවුකුසට බසිනා කල, මවුකුසින් නික්මෙන කල, මහාභිනිෂ්ක්‍රමණය කරන කල, සම්බෝධියට පත් වන කල, දම්සක් පවත්වන කල දස දහසක් ලෝක ධාතු කම්පා විය. යමක මහා ප්‍රාතිහාර්යය ද කළ සේක. දේවාරෝහණය ද එසේ ම විය. මාගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණ කියන්නෙමි. එකඟ කර ගත් සිතින් අසව’යි පවසා “ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යා චරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදු ය, අනුත්තර වූ පුරුෂ දම්‍ය සාරථී ය, දෙවි මිනිසුන් හට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ යි ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ ව මෙසේ කල්‍යාණ වූ කීර්ති ශබ්දයෙක් උස් ව නංඟේ ය. මහ රජ, තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසුරු කෙරේ වා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරණ මහ රජු ගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකකි” යි කීයේ ය. තව ද ‘මහ රජතුමනි, ඔබ වැන්නවුන් ප්‍රශ්න සියයක් දෙසියයක් ඇසූව ද මාගේ ශාස්තෘන් වහන්සේ ඒ සියල්ල සිතට එක් වර ම ගෙන පිළිතුරු කියන්නට සමර්ථ ශක්තියකින්, බලයකින් හෙබියේ ය. විශ්වාසයෙන් යුක්ත ව එළඹ අසනු මැනව’ යි ද කීවේ ය.
මෙහි දී මේ සියලු ගුණයන් වර්ණනා කළ යුතු වේ. නමුත් මේ එතැනට සුදුසු අවකාශය නොවේ. එබැවින් මේ ගුණයන් පිළිබඳ ව නවවැනි පරිච්ඡේදයේ ලියා දැක්වීම සිදු කොට ඇත.
මේ ගුණ වර්ණනාව අසන අජාසත් රජු ගේ සියලු ශරීරය ම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේ ය. හෙතෙම එකෙණෙහි ම යනු කැමත්තේ වී ‘මේ වේලාවෙහි මා දසබලධාරීන් වහන්සේ හමුවට යන විට ජීවක හැර අන් කිසිවෙක් රිය යෙදවීමට නො හැකි ය’ සිතා ‘යහළු ජීවකය. එසේ නම් හස්තියානයන් සරසව’යි කී ය.
ජීවක ද රජු ගේ ආරක්ෂාව පිණිස ඇතින්නියන් යෙදූ රථ පන්සියයක් පිළියෙල කොට, රාජකීය හස්තියා රජු වෙනුවෙන් පිළියෙල කොට මහ ජනාතාවට ද ‘අද රජතුමා භාග්‍යවතුන් වහන්සේ හමුවට යයි. සියළු දෙන ම හැකි අයුරින් රජුට ආරක්ෂාව සපයත්ව’ යනුවෙන් හසුන් පත් යැවී ය.
කුමක් හෙයින් මෙසේ කළේ ද යත්, භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් ගේ නුවණ ම මෙහි දැකි යුතු ය. මේ අණ ලැබීමෙන් පසුව ජීවක මෙසේ සිතී ය. ‘ රජවරු නම් බොහෝ සතුරන් ඇත්තෝ ය. යම් හෙයකින් අතර මග කිසියම් අනතුරක් වේ ද, මම ද ගැරහීමට පත් වෙයි. භාග්‍යවතුන් වහන්සේට ද මෙසේ ගැරහීමක් එයි. එනිසා මට වත් භාග්‍යවතුන් වහන්සේට වත් ගර්හාවක් නූපදින සේ රජු ගේ ආරක්ෂාව මනා සේ ඇති වේද එසේ කරන්නෙමි’යි සිතුවේ ය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ ද මහා ප්‍රඥාවෙන් ම යුක්ත විය. කරුණු සලකා ම සරණ ගියෝ වෙත්. එනිසා එයින් භාග්‍යවතුන් වහන්සේ ගේ ම කීර්තිය ප්‍රකට වන්නේ වෙයි.
යම් කෙළවරක සිට රජු වෙත ඊතලයක් විද්දේ වෙත් ද, එය රජු ගේ සමීපයටවත් නො එන සේ ආරක්ෂාව ද සපයා, ‘ඉදින් රජු හට ජීවිත අන්තරායක් වූයේ නම්, රජුට ජීවත දානය දී මම එයට මුහුණ පාන්නේ ය’ යැයි ද සිතා මහත් වූ රාජානුභාවයෙන් රජතුමා සමඟින් භාග්‍යවතුන් වහන්සේ ව දකින්නට පිටත් විය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන ජීවකයා ගේ අඹ වනය වෙත රජතුමා පැමිණියේ ය. අඹ වනය වෙත පැමිණෙන රජතුමාට මේ අඹවනයේ දී එක්වර ම බියක් හට ගත්තේ ය. ශරීරය වෙවුලා ගියේ ය. ලොමු දැහැ ගැන්වුණි. කුමක් නිසා ද යත්; අන්ධකාරය නිසා නොවේ. ප්‍රාකාරයත් ගිජ්ඣකූටයත් අතර චන්ද්‍රයා කඳු මුදුනින් වැසී ගොස් ද තිබුණු බැවින් මෙහි එක්තරා අන්ධකාරයක් ද විය. නමුත් සේනාව අත තිබූ සිය දහසක් පන්දම් වලින් එම අන්ධකාරය නැසී ය. මෙය එම ස්ථානයේ තිබූ අධික නිහඬ බව නිසා හටගත්තේ ය. ජීවක විසින් රජු ගේ ඉහළ මාළයේ දී ම ‘මහ රජතුමනි, භාග්‍යවතුන් වහන්සේ අල්ප වූ ශබ්දයට කැමති වන සේක. එය අප අනුගමනය කළ යුතු ය’ යන්න පවසා තිබුණි. එහෙයින් රජු අඹ වනය ආසන්නයට පැමිණෙන විට තූර්ය භාණ්ඩ වල ශබ්දය වළක්වනු ලැබී ය. වචන ද උස් හඬින් උච්චාරණය නො කරමින් සංඥා වලින් පමණක් එති. අඹ වනයේ ද කිසිවෙකු විසින් කරන කිවිසුමක හඬක් වත් නැත්තේ ය.
රජවරු නම් ශබ්දයේ ම ඇළුණෝ වෙති. එබැවින් හෙතෙම අල්ප ශබ්දයේ කළකිරුණේ මේ බිය උපන්නේ ය. හෙතෙම මෙසේ සිතී ය. ‘මේ ජීවක මාගේ අඹ වනයෙහි භික්‍ෂුන් වහන්සේලා එක්දහස් දෙසිය පණහක් ඇතැයි ඉහළ මාළයේ දී කීවේ ය. මෙහි කිසිවෙක් කහින ශබ්දයක් වත් නැත. මෙය නො විය හැකි දෙයක් ය. මොහු මා නගරයෙන් පිට කරවා මා රඳවා ගෙන තමන් රජවීමට කැමැත්ත ඇති ව මෙය කළා ද? මොහු ඇතුන් පස් දෙනෙකු ගේ බලයක් දරයි. මා සමීපයේ කිසිදු ආරක්ෂකයෙක් වත් නැත. සියල්ලෝ ඇත්තේ දෙපසින් ය. මොහු මාගේ ලඟින් ම යයි. අහෝෟ මට අනර්ථයක් සිදු වේ’ යැයි බිය ගත්තේ ය.
එසේ තනිව ම සිතා නො බිය වූවෙක් ලෙස සිටීමට අපොහොසත් ව “කිමෙක් ද? යහළු ජීවකය, මට වංචා නො කෙරෙයි ද, මා නො රවටයි ද? මා සතුරනට පාවා නොදෙයි ද? භික්‍ෂූන් එක්දහස් දෙසිය පණහක් පමණ වූ ඒ සා මහත් භික්‍ෂු සමූහයක වෙත් නම් කිවිසුම් හඬෙක් වත් කෙසේ නම් නො වන්නේ ද? කටහඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ දැ?” යි ජීවක ගෙන් ඇසී ය.
මෙය අසා ජීවක තෙමේ ‘මා ආර්ය ඵල ලාභියෙක් බව නො දැන අන් අය ගේ දිවි තොරනාකාරයේ කෙනෙක් යැයි මේ රජතුමා මා කෙරෙහි වැරදි සිතක් ඇති කරගන්නේ ය. ඔහු ව සනසාලිය යුතු ය’ යන්න සිතා “මහරජාණෙනි, බිය නො ගන්න. ඔබට වංචා නො කරමි. ඔබ නො රවටමි. සතුරන්ට පාවා නො දෙමි. ඉදිරියට වඩිනු මැනවි. එහි මණ්ඩල මාළයෙහි හෙවත් හිඳුනා හලෙහි පහන් දැල්වේ” යැ යි කීවේ ය.
අනතරුව රජතුමා ඇතෙකුට යා හැකි තරම් දුර ඇත් රජු පිට ම ගොස් දොර අසල දී බිමට බැස්සේ ය. ඒ බහින විට ම භාග්‍යවතුන් වහන්සේ ගේ තේජස රජු ගේ ශරීරය පුරා ම පැතිර ගියේ ය. තමන් මේ භාග්‍යවතුන් වහන්සේ වෙත සිදු කළ අපරාධ වල තරම මතක් වී රජු ගේ සිරුර දහදියෙන් තෙමී ගියේ ය. කොතරම් තෙමී ගියේ ද කියතොත් ඇඳුම් තෙමී ඉවත් කළ යුතු තරම් තෙමී ගියේ ය. මහත් බියක් උපන්නේ ය. හෙතෙම ජීවකයා ගේ අතින් අල්ලා ගෙන ආරාම චාරිකාවක් යන්නෙක් මෙන් ‘ජීවකය ඔබ කළේ හොඳ දෙයකි, හොඳ දෙයකි’යි කිය කියා ක්‍රමයෙන් හිඳුනා හල වෙත පිවිසියේ ය.
මෙයින් භාග්‍යවතුන් වහන්සේ ගේ පෞර්ෂය ම නැවත දැන ගත යුතු ය. මගධයට අධිපති අජාසත්ත යනු සුළු බලයක් හෝ සුළු සේනාවක් ඇති රජ කෙනෙක් නො වී ය.
එවන් තේජවන්ත රජ කෙනෙක් පවා භාග්‍යවතුන් වහන්සේ ගැන අසා තිබූ පමණින් ම දෑසට දකින්නටත් පෙර ම පෞර්ෂය සිහි වී ඇඟ ලා තිබූ වස්ත්‍ර ඉවත් කළ යුතු තරමට දහදියෙන් තෙත් වී ය. සාමාන්‍ය මනසකින් භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ පෞර්ෂය සිතිය හැකි නොවේ. ධර්මය දැන එයින් ලබන මධ්‍යස්ථභාවය කොතරම් ද? යන්න අවබෝධ කොට, මහ පොළව මත බිය සැක දෙකෙන් තොර ව ජීවත් වන ශාස්තෘන් වහන්සේ නමක් කෙසේ විය හැකි දැ?යි සිතන්නෙක්ට මිස වෙනත් අයෙකුට නම් උඩින් ඉඹ සුවඳ පමණක් දැන ගත හැකි වනු මිසක් මේ බුදු ගුණ විෂයෙහි කූරූ ගෑමක් නම් සිදු කළ නො හැක. ගුණයෙන් ද, පැණයෙන් ද, රූපයෙන් ද, ගෝත්‍රාදියෙන් ද මහත් ශාස්තෘවරයෙක් ගේ අභිමානය එසේ ය. රූපකාය ද අචින්ත්‍යය ම වේ. ධර්ම කාය සම්පත්තිය ගැන කවර නම් කථාවක් ද? කිසිසේත් ම මිනිය හැකි නොවේ.
මෙසේ හිඳුනා හල වෙත පිවිසි රජතුමා ‘යහළු ජීවකය, භාග්‍යවතුන් වහන්සේ කොහි දැ’යි ජීවක ගෙන් විමසී ය. ජීවක ඒ අසා පුදුම නො වී ය. ඒ රජකුලන් ගේ ස්වභාවය යි. තමා ගේ ඓශ්චර්යය ලීලාව නිසා එසේ අසයි.
ජීවක තෙම ‘මේ රජ මහ පොළවේ සිට ගෙන මහ පොළව කොහිදැ යි අසයි. අහස දෙස බලා සඳ හිරු කොහිදැ යි අසයි. උතුම් ලක්ෂණයන් ගෙන් ආකීර්ණව සියලු අනුබ්‍යඤ්ජනයන් ගෙන් සැරසී, සවණක් රැසින් මුළු ආරාමය ම බබුළුවා ගෙන, තරු ගණයා පිරිවැරූ චන්ද්‍රයා මෙන් භික්‍ෂු ගණයා පිරිවරා භාග්‍යවතුන් වහන්සේ මණ්ඩල මාලය මැද වැඩ හිඳින්නේ ය. එව කවරෙක්ට නම් නො පෙනේ දැ?’යි තනිව ම සිතා ‘මොහුට දැන් භාග්‍යවතුන් වහ්නසේ දක්වන්නෙමි’ යි භාග්‍යවතුන් වහන්සේ සිටි තැනට ඇඟිලි බැඳ වැඳ භාග්‍යවතුන් වහන්සේ දැක්වී ය.
රජතුමා භාග්‍යවතුන් වහන්සේ සමීපයට එැළැඹ කිසිදු භික්ෂුවක ගේ වත් සිවුරු කොණක වත් නො ගැටෙන තරම් ප්‍රවේසම් සහිත තැනක හිඳ ගත්තේ ය. එසේ හිඳ ගෙන වට පිට බැලී ය. සර්වාලංකාරයෙන් සැරසී, නළුවන් පිරිවරා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටි රජු දෙස හෝ රජ පිරිවර දෙස කිසිදු භික්ෂුවක් බැලීම් මාත්‍රයක් වත් නො කළේ ය. භාග්‍යවතුන් වහන්සේ දෙස ම බලමින් හුන් හ. කැළඹිලි නැති පොකුණක් මෙන් ප්‍රසන්න ඉඳුරන් ඇති භික්ෂු සංඝයා දෙස යලි යලිත් බලා ‘මාගෙ පුත්‍රයා ද මේ භික්‍ෂුන් වහන්සේලා මෙන් උපශාන්ත වන්නේ නම් මැනවැ’යි සිතුවේ ය.
දුර්ලභ දෙයක් දැක තමන් ගේ දූ දරුවන් සිහි වීම ලෝකයේ ස්වභාවය යි. මෙසේ සිතුවේ මන්ද යත්; මාගේ පුත්‍රයා ලොකු වී ‘මාගේ මුත්තා කොහේ දැ’ යි ඇසූ කල ‘පියා විසින් මරා රජය ගත්තේ යැ’යි අසා හෙතෙම ද එය ම කිරීමට ඉඩක් ඇත්තේ ය. මේ බව සලකමින් ඔහු එසේ සිතී ය. එය සත්‍යයක් ම විය. මේ අජාසත්ත ගේ පරම්පරාව පීතෘ ඝාතක පරම්පරවක් ම විය. අජාසත්ත බිම්බිසාර මරා රජකම ගත්තේ ය. ඔහු ගේ පුත් වූ උදායිභද්‍ර අජාසත්තව ද, උදායිභද්‍ර ගේ පුතු වූ මහා මුණ්ඩ උදායිභද්‍රව ද, අනුරුද්ධ මහා මුණ්ඩව ද, ඔහු ගේ පුතු වූ නාගදාස, අනුරුද්ධව ද මරා රජකමට පත් විය. එයින් අනතුරුව මේ රජවරු තමන් ගේ ම වංශය විනාශ කරන්නෝ ය. මොවුන්ගේ ඇති ප්‍රයෝජනය කුමක් දැ?යි කිපී රටවැසියෝ එක් ව නාගදාසව ඝාතනය කළ හ.
මෙසේ සිතමිනි සිටි රජතුමා ගේ සිත භාග්‍යවතුන් වහන්සේ දැන ‘මොහු මා සමඟ කතා කිරීමට නො හැකි ව භික්‍ෂු සංඝයා දෙස බලමින් පුත්‍රයා ගැන සිතමින් සිටින්නේ ය’ යැයි සිතා “කිම මහරජ, තොප සිත ප්‍රේමය ඇති දෙසට ගියේ වේදැ” යි රජුගෙන් විමසුවේ ය.
මෙය අසා රජතුමා පුදුමයට පත් විය. ‘අහෝෟ බුදු ගුණ නම් ආශ්චර්යයක් ම ය. භාග්‍යවතුන් වහන්සේ ට මා වැනි අපරාධ කළ අයෙක් තවත් නැත. මම උන්වහන්සේ ගේ අග්‍ර උපස්ථායකයා ගේ ඝාතකයා වෙමි. දේවදත්ත ගේ බස් ගෙන දුනුවායන් එවන ලද්දේ ය. නාලාගිරි මුදාහරින ලද්දේ ය. මාගේ උපකාරයෙන් ම දේවදත්ත ගල් විදින ලදි. මෙසේ මා වැනි අපරාධකාරයෙක් සමඟ කථා කිරීමවත් භාග්‍යවතුන් වහන්සේට තරම් නො වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් තාදී ගුණයෙන් යුක්ත ය. මෙබඳු ශාස්තෘවරයෙකු ලැබ පිටතින් නැවත කිසිවක් නො සොයන්නෙමි’යි සොම්නසට පත් ව තනි ව ම සිතුවේ ය.
එසේ සිතා “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, උදායිභද්‍ර කුමාර තෙමේ මට ප්‍රිය ය. ස්වාමීනි, භික්‍ෂු සංඝයා දැන් යම් බඳු සංහිඳීමකින් සමන්‍විත ද, මගේ උදායිභද්‍ර කුමාර තෙමේ ද මේ බඳු වූ සංහිඳීමෙන් සමන්‍විත වේවා” යි පිළිවදන් දුන්නේ ය. එසේ පිළිවදන් දී මහත් සොම්නසින් භාග්‍යවතුන් වහන්සේ ව වැඳ, භාග්‍යවතුන් වහන්සේ ට පිටු නො පෑ යුතු ය යන්න සිතා සිටි තැන ම හිඳ භික්‍ෂූ සංඝයා වෙත ඇඟිලි බැඳ නමස්කාරය කළේ ය. තව ද ‘භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටින තැන අනික් භික්‍ෂුන් වඳින්නට යෑමෙන් භාග්‍යවතුන් වහන්සේට අගෞරවයක් කරන්නේ ය. එනිසා එය නො කරමි’යි සිතුවේ ය. රජු සිටින තැන යුවරජුට වැඳීමෙන් රජුට අගෞරවයක් කළා වන්නේ ය. මෙතැන දී ත් ඒ ලෙස ම ය. අනතුරුව අජාසත්ත රජු විසින් ‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, සාන්දෘෂ්ඨික ශ්‍රමණ ඵල කවරේ ද?’ යන්නෙන් විමසූ ගැටළුව අනුසාරයෙන් සූත්‍ර දේශනාව ආරම්භ විය.
මේ කතා වස්තුව පුරා ම ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ගේ අපමණ ගුණ කඳ ම ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් ගේ ප්‍රඥාවේ තරමෙහි පටන්, රජවරු පවා භාග්‍යවතුන් වහන්සේ අභියස කෙසේ හැසිරුණේ දැ යි මෙයින් එළිපෙහෙලි වෙයි. වෙනත් කිසිදු තමන් ශාස්තෘ යැයි කියාගන්නා අයෙක් ලඟ සාර පද්ධතියක් සහිත දහමක් නො තිබූ බව ද මෙයින් මනාව හෙළි වෙයි. අප ගේ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මොන තරම් සාර කරුණු සහිත පද්ධතියක් ද? එය ලබන්නට අප කොතරම් භාග්‍යවන්ත වී ඇත්තේ දැ යි සිතා බලන්නට මේ ස්ථානය කදිම අවකාශයක් ය. උන්වහන්සේ සතු ව තිබූ රූප කාය සම්පත්තිය ද, ධර්ම කාය සම්පත්තිය ද, ඉපදීමේ දී පවා තිබූ ජාත්‍යාදී ආශ්චර්යය ගුණය ද මේ සූත්‍රයෙන් වඩාත් ඉස්මතු වී පෙනෙයි.
තව ද භාග්‍යවතුන් වහන්සේ තමන්ට අපරාධ කළ කෙනෙක් ගැන වූවත් කෙසේ පිළිපදින්නේ ද? යන්නටත් මේ කතා වස්තුව මනා උපමාවක් ම වෙයි. අඝාතයන් කිසිවක් සන්තානය තුළ නැති භාග්‍යවතුන් වහන්සේ අතීතය ගැන නො තැවී වර්තමානයේ සුදුසු පරිදි කටයුතු හැසිරවීමෙන් උන්වහන්සේ සතු ප්‍රඥාව ද, මානුෂීය ගුණ ධර්ම ද මැනවින් පිළිබිඹු වේ. එයින් අප ගේ ශාස්තෘන් වහන්සේ ගේ ගුණ සමුදාය දැන ගත යුතු ය.
(දීඝ නිකාය - සාමඤ්ඤඵල සූත්‍රය)