top of page

7.3. සුනක්ඛත්ත සහ බුදුරජාණන් වහන්සේ

සුනක්ඛත්ත යනු භාග්‍යවතුන් සමීපයේ පැවදි ව සිටි භික්‍ෂුවකි. ඔහු දිනක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් දිබ්බචක්ඛුව සඳහා භාවනාවක් ඉල්ලී ය. භාග්‍යවතුන් වහන්සේ එය දුන් අතර ඔහු එම භාවනාවෙන් දිව්‍ය චක්ෂුව ඉපද වී ය. එයින් දිව්‍ය රූ සිරි දකින ඔහුට ඔවුන් ගේ ශබ්ද ඇසීමට ද වුවමණා විය. භාග්‍යවතුන් වහන්සේ අභියසට ගොස් දිව්‍ය ශෝත්‍රය සඳහා ද කර්මස්ථානයක් ඉල්ලී ය. නමුත් සංසාර ජීවිතයේ එක් අවස්ථාවක දී සුනක්ඛත්ත විසින් සිල්වත් භික්‍ෂුවක ගේ කන් සිදුරට පහර දී බිඳීම සිදු කර ඇති හෙයින් එම දිව්‍ය ශෝත්‍රය ඔහු විසින් නො ලබයි. භාග්‍යවතුන් වහන්සේ එය දැන ඔහුට ඒ සඳහා කර්මස්ථානයක් නො දුන් සේක.


එයින් ඔහු භාග්‍යවතුන් වහන්සේ සමඟ වෛර බැන්දේ ය. ‘මොහු මා කෙරෙහි ඊර්ෂියාවෙන් මේ කර්මස්ථානය නො දුන්නේ යැ’යි සිතා තරහවෙන් පසු වන්නේ ක්‍රමයෙන් ගිහි බවට පත් විය.


එසේ ගිහි වී මහාලි යන ලිච්ඡවියා වෙත ගොස් “මා අවුරුදු තුනක් ම භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කර ගෙන සිටි අතර දිව්‍ය චක්ෂුව ලැබූව ද, දිව්‍ය ශෝත්‍රය නො ලැබූවෙමි”යි කීවේ ය.


මෙයින් භාග්‍යවතුන් වහන්සේ ගේ ගුරුවරයෙක් සැටියට ගෙවූ ජීවිත රටාවේ කරුණක් ප්‍රකට වේ. සුනක්ඛත්තට මේ බව දැනුවත් කිරීමට භාග්‍යවතුන් වහන්සේ කටයුතු නො කළේ කිම ද? කිමෙක් ද යත් ශ්‍රාවකයන් ව නලවමින් උන්වහන්සේ තබා නො ගත් අතර සැදැහැ සිතින් පැවදි ව ගුරු වචනයේ නො හික්මෙන අයට ලැබිය හැකි නිර්වාණයක් නොමැති බව භාග්‍යවතුන් වහන්සේ දන්නා නිසාවෙනි. එබැවින් එසේ නො වදාළ සේක.


ආධ්‍යාත්මික ගුණ වගාවක් ඇති අයෙක්, ඒ ආධ්‍යාත්මික ගුණ වගාව බෙදා දීමට උත්සහ කරනවා විනා, ලෝක අවධානය පිණිස කටයුතු නො කරන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ලොව දියුණු ම ආධ්‍යාත්මික ගුණ වගාව ඇති උතුමන් වහන්සේ විය. හුදු එය ලබා දීමට උත්සහ කළා විනා, සමාජය නැලවීමට භාග්‍යවතුන් වහන්සේ තත්පර නො වී ය.



(දීඝ නිකාය - මහාලි සූත්‍රය)


bottom of page