top of page

1.3. භාග්‍යවතුන් වහන්සේ ගේ ප්‍රශ්න ඇසීමේ ක්‍රමවේදය.

ලෝකයේ ප්‍රශ්න ඇසීමේ අවස්ථා පහකි.


01. අදිට්ඨජොතනා පුච්ඡා (නො දත් දෙය පැහැදිලි කරන)

02. දිට්ඨ සන්‍දස්සනා පුච්ඡා (දුටු දෙය පෙන්වීම)

03. විමතිච්ඡෙදනා පුච්ඡා (වැරදි අදහස් බිඳින)

04. අනුමති පුච්ඡා (අවසර ලබා කරන)

05. කථෙතු කම්‍යතා පුච්ඡා (කීමේ ආශාවෙන් කරන) යනුවෙනි.


එහි අදිට්ඨජොතනා පුච්ඡා නම් ප්‍රකෘතියෙන් නො දුටු, අවසන් තීරණයකට නො පැමිණි දේවල් ඥානයෙන් දැකීමට, තීරණය කර ගැනීමට, පැහැදිලි කර ගැනීමට ප්‍රශ්න ඇසීම ය.


දිට්ඨ සන්‍දස්සනා පුච්ඡා නම් ප්‍රකෘතියෙන් දත්, තීරණයකට පැමිණි දේවල් අනිකුත් පඬිවරුන් සමග සසැඳීම පිණිස ප්‍රශ්න ඇසීම ය.


විමතිච්ඡෙදනා පුච්ඡා නම් සැකයට, විමතියට බැස ගත්තේ, මෙසේ ද? නොවේ ද? කුමක් ද? කෙසේ ද? යනුවෙන් හෝ විමතිය නැති කරගනු පිණිස ප්‍රශ්න ඇසීම ය.


අනුමති පුච්ඡා නම් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ගේ සත්‍යය පිළිබඳ ව කැමැත්ත ගැනීම පිණිස “මහණෙනි, ඔබ සිතන්නේ රූප නිත්‍යය කියා ද? අනිත්‍යය කියා ද?” ඇසූ කළ “අනිත්‍යය ස්වාමීනි”යි කියයි. නැවත “යමක් අනිත්‍යය නම් එය දුක ද? සුඛ ද? යනුවෙන් අසයි. මේ ඒ ආකාරයේ කැමැත්ත ගැනීම පිණිස විමසන ප්‍රශ්ණ ය.


කථෙතු කම්‍යතා පුච්ඡාව නම් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කියනු කැමැත්තෙන් “මහණෙනි, සතිපට්ඨාන සතරක් ඇත. කවර සතරක්ද යත්? ආදී වශයෙන් කියනු කැමැත්තෙන් ප්‍රශ්න ඇසීම ය.


මේ පංච පුච්ඡාවන් අතර කිසියම් නො දුටු ධර්මයක් නොමැති බැවින් තථාගතයන් වහන්සේට අදිට්ඨජොතනා පුච්ඡාවක් නම් නැත. මේ කරුණු නම් අනිකුත් පණ්ඩිත මහණ බමුණන් සමග සසඳා දේශනා කරන්නෙමි’යි සලකා බැලීමක් නූපදනා බැවින් දිට්ඨ සන්‍දස්සනා පුච්ඡාවක් ද නැත. බෝ මැඩ දී ම සියලූ ම සැක බිඳ දමන ලද බැවින් බුදුවරුන් ගේ එක් ධර්මයක දී වත් පැකිලීමක් නැත්තේ ය. ඒ නිසා විමතිච්ඡෙදනා පුච්ඡාවක් ද නැත්තේ ම ය. ඉතිරි ආකාර දෙක පිණිස ම භාග්‍යවතුන් වහන්සේ පැන අසන ආකාරයක් දක්නට ලැබෙයි.


අප ගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ලෝකයේ පැවැත්ම පිළිබඳ ව කිසිදු ආකාරයේ ගැටලුවක් නැති තරම් වූ ප්‍රඥාව මෙයින් දත යුතු ය.


එනිසා ම යමෙක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් ප්‍රශ්නයක් ඇසීමට කැමති කල පසේ බුදුවරු හෝ ශ්‍රාවයකන් හෝ මෙන් නොවේ. ‘ඔබ කැමති යමක් ඇත්නම් අසන්න. කිසිවක් මට බරක් නොවේ. ඒ සියල්ල විසඳාලන්නෙමි’ යි සර්වඥ පවාරණය කරන්නේ ය.


පසේ බුදුවරුන් ගේ පටන් වෙනත් කිසිදු ශ්‍රාවකයෙක් එසේ නොවේ. ‘පළමු ව අසා දෙවනු ව කියන්නෙමි’යි කියන්නේ ය. බුදුවරු ‘ඇවැත්නි, යමක් අසන්නට කැමැත්තේ නම් අසව’යි ම කියන්නෝ වෙති.

(දීඝ නිකාය අටුවාව - බ්‍රහ්මජාල සූත්‍රය)


Designed by Sujatha Puthra Meditation Center

bottom of page