top of page

හෙටට මට අවුරුදු 30ක්..


මතකය එක්වරම දුවගෙන ගියේ මගේ පුංචි කාලෙට..


තාත්තා කියන්නෙ වෙනම චරිතයක්.. ඒ ගැන ලියලා වත් කියලා වත් මට ඉවර කරන්න කවදාවත් පුළුවන් කමක් නැහැ.


හැබැයි මට අද වගේ මතකයි අපේ අම්මා.. මම බයිසිකලයක් ඉල්ලලා, ඇය දුවගෙන ගිහින් පුංචි රතුපාට බයිසිකලයක් මට ගෙනත් දුන්නා.. එදා මම ඒකට සතුටු වෙද්දි අම්මගේ මුහුණෙ ඇඳිච්ච අව්‍යාජ හිනාව මට වෙනසක් නැතිව මතකයි..


යුද්ධ කාලේ නුගේගොඩට කඳුලු ගෑස් ගහපු දවසක් මට මතකයි.. ඇය ඇගේ සාරි පොටින් මාව වහගෙන ගෙදර එක්කන් ආවා.. ඇගේ ඇස්වලට කඳුලු ගෑස් වැදිලා තිබ්බා..

නමුත් දැන් ඇය වයසට යන්න පටන් අරන්.. ඇයත් දැන් වයසයි.. හන්දිපත් රිදෙන්න පටන් අරන්.. කොණ්ඩෙ සුදු වෙන්න පටන් අරන්..


ඒත් තාම ගමන් බිමන් යන්න.. ටොෆි චොකලට් චීස් කන්න වෙනසක් නැතිව හරිම රුසියා..


දැන් මම බණ වලට හරි වාහානේ වඩිනකොට මම හැමදාම දකිනවා අම්මා පයින් ගමන් බිමන් ටික යනවා..


මට දුන්න උත්පත්තියටත්, මාව හදලා වඩලා කන්න දීලා උස්මහත් කරපු ටිකටත් මම කොහොමත් ඇයට ණයගැතියි.. ඒ ඔක්කොටම වඩා මට පැවිදි වෙන්න දීපු හරිම ලස්සන උපෙක්ෂා සහගත අතහැරීමටත්..


ඒ නිසා මේ හැමදේම සලකලා ඇගේ දැන් අවශ​්‍යතාවය බලලා ඇයට පුංචි තෑග්ගක් අරන් දුන්නා.. ඇය ඒකට සතුටු වෙන බව මම දන්නවා.. ඇයගේ හිතේ පුංචිවත් වුවමණාවක් මේ වෙනුවෙන් තිබ්බෙ නැති නිසා..


මම මේක අරන් නොදුන්නත් ඇය මා හදපු වඩපු අයිතිවාසිකම නොකියා, ඒවාට වන්දි නො ඉල්ලා හැමදාම පයින් පුලුවන් කාලයක් ගමන් බිමන් ටික යයි..


අදත් ඇය කාටත් හොරෙන් Birthday Card එකක් හදලා හොරෙන් ගෙනත් කාර් එකෙන් තියලා.. ඒ තමයි අපේ අම්මා..


මේ ඇගේ මුහුණෙ ඇඳිච්ච සිනහවත් ඇති මට ඇය මියදුණු දිනයක ඇහෙන් කඳුලක් නැතිව ඇයව සො​හොනක වළලලා දාන්න..


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 15.03.2023

bottom of page