top of page

හාමුදුරුවරුන්ට කොහින්ද මෙච්චර සල්ලි..

මාතෘකාව දැක්ක ගමන් ඔය ඇත්තො මේක කියවන්න නතර වෙනවා කියන්න මං ඉතින් දන්නවා. මොකද ඔය ඇත්තො කොහොමත් කැමැතියිනේ හාමුදුරුවරුන් ගේ මේ සල්ලි සම්බන්ධ දේවල් හොයන්න බලන්න..


හරි අපි මෙහෙම පටන් ගමු.


ඇත්තටම අපි පුද්ගලික ජීවිතය ජීවත් වෙද්දි අපිට මුදල් වියදම් කරන්න වෙන දේවල් ලෝකේ ඕනතරම් තියෙනවානේ. මේක වහන්න ඕන කරුණක් නෙවෙයි. කතා කරන්න ම ඕන කරුණක්.


👉 මොකටද හාමුදුරුවනේ ඔබ වහන්සේලා ට වියදම් ? අපි ඔබ වහන්සේලා ගේ සිවුපසය ම සලසවනවනේ.


මොනා ද මේ සිවුපස ය ? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය හෙවත් බේත් හේත්.


දැන් ඔච්චරයි ද අපිට වියදම් තියෙන්නෙ ?


එතකොට හදිස්සියේ ම වාහානය හැප්පුණොත්, Insurance එක මුලු ගාණ ම ගෙවනවා ද ? වාහානය Insurance දාන්න ගෙවන්න වෙන මුදල සිවුපසය අස්සේ තියෙනවා ද ?


නෑ නේ.


වාහානය හැප්පුණාම උන් පුලුවන් තරම් බලන්නේ අරවා මේවා කියලා ගාණ අඩු කරන්න. අවුරුද්ද පරණයි කියයි. Pre Accident කියයි. වාහානේ ගැලෙව්වාම Accident එකට අදාල නැති ඔයිල් මාරු කරන ඒවා කියයි. ඒකේ වියදම කොහින්ද ? කවු ද අපිට දෙන්නෙ.


Facebook දාන්න ද ? පින්වත්නි‍, බල්ලෙක් වාහානේ වැදුණා. හදන්න දායක වෙන්න කියලා..


ඔයිට අමතරව, මාසිකව ගෙවන්න වෙන විදුලි බිල්, වතුර බිල්, අන්තර්ජාල බිල් මේවා කවුද අපිට දෙන්නෙ ?


ස්වාමීන් වහන්සේ නමකට වෙනත් පොත් මේසයක් අවශය වුණොත්, පොත් ටිකක් ගන්න අවශ්‍ය වුණොත්, සේනාසනයට ඔය පින්වතුන්ලා ගෙනල්ලා දාලා ඉන්න බල්ලො ටිකට බේත් හේත් ටිකක් ගන්න වුණොත්, හදිස්සියේ සින්ක් එකක්, වතුර බටයක් කැඩුණොත් මේ හැමදේම Facebook එකට දාලා දායකයො එකතු කරගන්න ද වෙන්නේ ?


පේන්නැද්ද එහෙම දැම්මා ම මිනිස්සු ම කියන කතා.


ඔයිට අමතර ව බණ ටික කියලා අන්තර්ජාලයට දාන්න කැමරාවක්, ලයිට් එකක්, මෙමරි චිප් එකක් හදිස්සියේ ම ගන්න වුණොත්, බණ ටික Edit කරන Software ටික (අපි උපසම්පදා නිසා Crack පාවිච්චි කරන්නත් බැරි නිසා) මාසිකව සල්ලි දීලා ගන්න වුණාම, අපිට ගමනක් යන්න වුවමණා වුණා ම, අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්ට උපකාරයක් කරන්න අවශ්‍ය වුණොත් ඒ වියදම් සිවුපසය අස්සේ තියෙනවා ද ?


නෑ නේ.


දැන් අහයි 👉 හාමුදුරුවන්ට මොකටද වාහාන කියලා ?


නැත්තන් ඉතින් තඹුත්තේගම ඉඳන් තංගල්ලට පයින් ගිහින් බණ කියන්න ද ? කියන්නේ.


ඇයි හාමුදුරුවනේ බස් තියෙන්නේ, කෝච්චි තියෙන්නෙ..


බස් වල, කෝච්චි වල අපිව නිකම් එක්කන් යනවා ද ? 05.30 ට බණ එකක් කියලා, නැවත 07.00 බණ එකට යන්න කෝච්චි අපි එනකම් Staion වල බලන් ඉන්නවා ද ? රෑ බණ එක ඉවර කරලා සේනාසනයට නැවත යන්න බස් හැම තිස්සේ ම තියෙනවා ද ?


නෑ නේ. එනිසයි වාහනයක් පාවිච්චි කරන්නේ.


එනිසයි හාමුදුරුවරුන්ට සිවුපසයට අමතරව වෙනත් අවශ්‍යතා තියෙනවා කියලා කිව්වේ. අපිට දානයක් මානයක් දෙන්න වුණාම කවුද අපිට ඒ සල්ලි දෙන්නෙ ?


අපි දානයක් මානයක් දෙන්න එපා ද ? එතකොට මාසිකව අපි කන්න බොන්න දෙන්න අනාථ නිවාස වල දරුවො ටික, වැඩිහිටි නිවාස වල දරුවො ටිකට කවුද පිහිට වෙන්නෙ ? ඔබට පුළුවන් ද ඒ අය ඔක්කොම තනියම බලාගන්න.


එනිසා පළවෙනියට ම දැනගන්න හාමුදුරුවරුන්ට සිවුපසයට අමතර ව කාලයත් එක්ක ලැබිච්ච වෙනත් වියදම් දැන් ඉතිරි වෙලා තියෙන බව.


ඉස්සර මිනිස්සු බණ අහන්න පන්සලට ම ගියාට, දැන් හාමුදුරුවන්ට ගෙදරට ගිහින් බණ කියලා එන්න වෙලා තියෙනවා.


මේ සියල්ල එක්ක මං කියපු අමතර වියදම් ගැන කල්පනා කරලා බලන්න.


👉 එතකොට හාමුදුරුවරු ජොබ් එකක් කරාට කමක් නැද්ද ?


නැහැ මම මේකට එකඟ නැහැ. මොකද ඒක මොන දේ වුණත් ශ්‍රමණ සාරුප්‍යය කියන එකට ගැලපෙන්නෙ නැහැ. එතකොට වියදම් කොහොමද පියවගන්නෙ ?


අන්න ඒක තමයි මම මේ කියලා දෙන්න යන්නෙ.


විශේෂයෙන් ම බණ කියන ස්වාමීන් වහන්සේලා ට (පුද්ගලිකව මට) ජොබ් එකක් කර කර ඉන්නවට වඩා තාක්ෂණය එක්ක සද්ධර්මය ප්‍රචලිත කිරීමෙන් දැන් නිෂ්ක්‍රීය ආදායමක් හොයන්න පුළුවන් දේවල් ලෝකේ විවර වෙලා තියෙනවා.


හොඳ ම උදාහරණය තමයි Youtube. මිනිස්සු බණ ඇහුවාම Views වලට Youtube එකෙන් ගෙවනවා. සාමාන්‍යයෙන් Views 1000කට USD 1.55 ක විතර ගෙවීමක් තියෙනවා.


ඉතින් මේක රැකියවාක් නෙවෙයි. බණ ටික අන්තර්ජාලය මිනිස්සුන්ට අහන්න දාන්නේ. නමුත් Active Income එකක් විදියට නෙවෙයි, Passive Income එකක් විදියට එතනින් මුදලක් ලැබෙනවා නේ.


මේ වගේ තව නො යෙක් දේවල් තියෙනවා. Blender, 3D Max, Reallusion Software වගේ වලින් වැඩ කරන්න පුලුවන් නම්, 2D Animation වගේ දේවල් විශ්ව විද්‍යාල වලින් පවා අපෙන් ඉල්ලලා ගන්න තැන් තියෙනවා.


Medium වගේ Platform වල දාන ලිපි වලටත් දැන් ලෝකේ මුදලක් ගෙවනවා.


දැනුම තියෙනවානම්, භාෂාව ගැන, තමන් ගේ විෂය ගැන, ඒක සමාජ ගත කරන්න ඕන විදිය ගැන, අපිට ජීවත් වෙන්න, මේ වියදම් ටික පියවගන්න අවශ්‍ය වෙන මුදල ලැබෙන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි.


👉 බණකට ගියාම සල්ලි ගන්නවා ද ?


කවදාවත් නැහැ. බණ කියන්න සල්ලි ගන්නෙ නැහැ. නමුත් ගමන් වියදම් කියලා දායකයො දෙන එකක් කැපකරු මල්ලි ගන්නවා. මොකද බණකට යන්නේ කිව්වාම සෙඩ් එකෙන් නිකම් තෙල් ගහලා දෙන්නෑ නේ.


අන්තර්ජාලයට දානවානම්, පටිගත කරන්න, සංස්කරණය කරන්න යන වියදම ඒ අය විසින් දෙනවා.


එතකොට 50,000ක් වියදම් කරන් ගියාම ගමන් ගාස්තු විදියට 20,000 ක් දෙන තැනුත් තියෙනවා.


ඒ වගේම 20,000ක් වියදම් කරන් ගියාම තෙල් ටිකක් ගහගන්න කියලා 50,000 ක් දෙන තැනුත් තියෙනවා.


ඔය විදියට තමයි අපිට වියදමට අවශ්‍ය සෙසු මුදල් ටික ලැබෙන්නෙ. මේවා කියන්නේ සමාජය මේවා දැනගෙන මධ්‍යස්ථ වීම වටින නිසා.


👉 එතකොට හාමුදුරුවනේ මුදල් පිළිගන්න කැප ද ?


නැහැ. හාමුදුරු කෙනෙක්ට සෘජු ව තමන් වෙත මුදල් පිළිගන්න කැප නැහැ. නමුත් දායකයන් විසින් කැපකරුවන්ට දීලා හාමුදුරුවන් ගේ අවශ්‍යතාවයකට යොදවන්න කියලා දෙන මුදලක් විනයානුකූලව පරිහරණය කරන විදියක් ශාසනයේ තියෙනවා.


ඒ අනුව අපි වැඩ කරනවා.


මම කාලෙකට කලින් Post එකක් දැම්මා. වකුගඩුවක් බද්ධ කරන්න වෙච්ච දුවෙක්ට වකුගඩුවක් අරන් දුන්න එකක් ගැන.


මේ තියෙන්නේ ඒ Post එක 👉 https://tinyurl.com/2fnbu2jk


ඉතින මල්ලි කෙනෙක් මේ Post එක දැකලා මගෙන් ඇහුවා, මේ ඔබ වහන්සේ අමාරුවෙන් හම්බකරපුවා ද ? නැත්තනි මිනිසුන්ගෙන් එකතු කරපුවා ද ? කියලා..


නැහැ. කාගෙන්වත් එකතු කලේ නැහැ. මම මේ වැඩ ටික කරගෙන යනකොට ඉතිරි වෙලා තිබ්බ මුදලක් තමයි ඔය දුන්නේ.


අපි තව ම වැඩ කරනවා. Youtube, Animation, Web and App Development වගේ ක්ෂේත්‍ර වල අපිට දැන් නව තාක්ෂණය එක්ක වැඩ කරන්න වෙලා තියෙනවා. ඒවාගෙන් අපි ස්ථීර රැකියාවක් නො කළත්, නිෂ්ක්‍රීය ආදායමක් නො ලැබෙනවා නෙවෙයි නේ.


උදාහරණයක් යම් විශ්ව විද්‍යාලයකට අවශ්‍ය (විශේෂයෙන් ම විදේශ රටවල) බුදු දහම සම්බන්ධ සමහර Projects සම්පූර්ණ කරලා යැව්වාම, ඒ අය විදුලි බිල්, අන්තර්ජාල බිල්, මෘදුකාංග මිල දී ගැනීම් සහ කාලය වැනි දේවල් සලකලා යම් කිසි වියදම් පියවීමක් සිදු කරනවා.


පුද්ගලිකව මේ මගේ පැත්ත.


එනිසා මතක තියාගන්න. අපි මේ බිස්නස් කරලාවත්, අහින්සක මිනිස්සු ගොනාට අන්දවලාවත් සල්ලි අරන් වැඩ කරනවා කියලා හිතන්න එපා. එහෙම කරන අයත් ඇති, නමුත් පුද්ගලිකව අපි කවදාවත් එහෙම කරලා නැහැ. කරන්නෙත් නැහැ. කරන්න අවශයතාවයකුත් නැහැ. තව අවුරුදු 50 ක් ලෝකේ Update වුණත් ඒ හැම Update එකකට ම හරියන්න අපේ බාහිර විෂය දැනුමත්, අපි යෙදෙන විෂය ගැන ඇතුලාන්ත දැනීමකුත් අපි ගාව තියෙනවා.


ලෝකය වෙනස් වෙන ඕනෑ ම තැනකට වෙනස් වෙලා අපේ ශාසනික කාර්යය කරන්නත්, ඒවා ගේ වියදම් ආදී ගැටලු සමනය කරගන්නත් ඕන තරම් ක්‍රම අපි ගාව තියෙනවා.


ඊයේ රෑ වැඩක් ඉවර කරන කොට පාන්දර 04.00 යි. අපි මහන්සි වෙලා නැද්ද ? එතකොට..


ඒවා මේ Facebook දාගෙන නටාගෙන කරන ඒවා නෙවෙයි. මොකද සමහර දේවල් අතිශය රහසිගතවයි ඒ අය ඉල්ල ගන්නෙ. ඒ අයගේ නමට අඩුවක් වෙයි කියලා.


අපි ඒක රකින්න ඕන නේ. කරන කරන වැඩේ Facebook දාන්න ද කියන්නෙ ?


සල්ලි හොයන්න මේවා කරලා නෙවෙයි, අපේ වැඩ ටික කරලා විතරකුත් අපිට වුවමණා ඕන ම තරම් නිදහසකින් කටයුතු කරන්න අපිට දැනටත් අමාරු නැහැ.


සල්ලි හොයන්න බලාගෙන මේවා කරනවානම්, එක කම්පියුටර් එකක් තියාගෙන, අවශ්‍ය තරම් සල්ලි හොයාගන්නත් අපි නො දන්නවාත් නෙවෙයි. හැබැයි එතනට වැටෙන්න තරම් අපි ලෝකේ පස්සේ දුවන්නේ නැහැ.


කාට හරි මේක කියවලා, ඇත්තමයි හාමුදුරුවනේ අපිටත් ඔහොම ලෝකේ තාක්ෂණය පාවිච්චි කරලා සල්ලි හොයන්න කියලා දෙන්න කියලා කිව්වොත්, හොයලා දෙන්න, කියලා දෙන්න දෙපාරක් හිතන්නෙත් නැහැ.


මේක කියවලාත් කාට හරි ඕක හිතුණොත්, බය නැතිව Reallusion Software ටිකත්, Blender, 3D Max, Maya, Adobe Premiere Pro, After Effects, Photoshop, Animate, Audition, Dreamware, Indesign, Bridge, lighroom, Doodly වගේ Software ටික හොඳට ම ඉගෙන ගන්න.


ඔයිට අමතරව Javascript, Python, Go, Java, Kotlin, PHP, C#, Swift වගේ Languages ඉගෙන ගන්න උත්සහ කරන්න.


Ad Click කරලා සල්ලි හොයන්න හීන මවන්නැතිව මේ ටික ඉගෙන ගෙන එන්න.


තව අවුරුදු 20 ක් ගියත් ඇති වෙන්න සල්ලි හම්බ කරගන්න ජොබ් හොයලා දෙන්නම්. නැතිව Facebook එකට වෙලා හෑලි ලිය ලිය ඉඳලා කෝටිපතියො වෙන්න හීන මවලා වැඩක් නැහැ. තමන් ගේ අභ්‍යන්තර Skills Improve කරගන්න. ඒක තමයි ලෝකේ තියෙන හොඳ ම Investment එක.


අපි ගාවට ආවත් අපි දන්න ටික කියලා දෙන්නම්.


ඔය ටික දන්න එක ළමයෙක් වත්, මේ වෙනකොට ජොබ් නැතිව වේලෙනවා කියලා මං හිතන්නෙ නැහැ. කාර් එකක් නැතිව ඇති කියලා මං හිතන්නෙ නැහැ. මොකද මනුෂ්‍යයො වෙච්ච අපේ දැනුමට වඩා ලෝකය තියෙන්නෙ පස්සෙන්.


කාර් එකක් ගන්නවා කියන්නේ හරියට කලොත් එක Project එකයි. දැනුමයි, උත්සහයයි තියෙනවා නම්, ජීවිතය ඒ තරම් බරක් නෙවෙයි.


අන්න එහෙමයි හාමුදුරුවරු වුණත් මේ කාලේ තමන් ගේ වැඩ ටික කරගන්නෙ. Facebook එකට වෙලා, දායකයොන්ට කරදර කර කර සල්ලි ඉල්ලලා නෙවෙයි.


(අහින්සකයොන් ව රවට්ටලා ගේම් ගහලා මෙහෙම කරන සමහරු නැත්තෙමත් නැහැ. නමුත් හැමෝව ම එක මිම්මෙ තියලා මනින්න එපා)


නමුත් තව දෙයක් කියන්න ම ඕන.


මේ ශාසනික කටයුත්තේ වටිනාකම තේරුම් ගත්ත මිනිසුනුත් ඉන්නවා. ඔවුන් දැනට අපිට අවශ්‍ය සියලු ම දේ හොයලා බලලා දෙනවා. එනිසා අපිට මේවා පස්සේ දුවන්නැතිව, හිමිහට ජීවිතය ගෙවන ගමන් අපේ අවශ්‍ය වැඩ ටික කරගන්න පුලුවන් ජීවන ක්‍රමයක් තියෙනවා.


මිනිස්සු ආවා ගියා. හැබැයි ඒ අය නැතිවුණත් අපි මේ ටික දිගටම කරා. ඉස්සරහටත් කරනවා.


මොකද අපි තට්ටෙ හයිය විශ්වාස කරලා පියාඹන‍, වහන අය මිසක්‍, අතු ගැන විශ්වාසය තියලා ගස් උඩ වහන අය නෙවෙයි නිසා.


එනිසා අපිට මේ ධර්ම යාගයට පහසු‍, අවශ්‍ය සියලු දේ ම ගන්නවා. දෙපාරක් හිතන්නැතිව. මුදල් නැත්තන් අවශ්‍ය මුදල හොයා ගෙන හරි ගන්නවා.


මිනිස්සු නෑ කියලා බණ කියන එක නවත්වන්නෙ නැහැ. ඇහුවත් නෑහුවත් දිගටම බණ ටික දානවා.


ඒ අය මොනා හරි පූජා කරන්න ඇහුවත්‍, අපි ධර්ම යාගයට අවශ්‍ය දෙයක් විතරයි ඒ අයට කියන්නෙ.


අපි කවදාවත් ඒ අයගෙන් අපිට පුද්ගලික දේවල් අරන් නැහැ. අඩුම විනයානුකූල ව කැප වුණත් මගේ ම අම්මගෙන් සිවුරක් වත් අපි තව ම ඉල්ලලා නැහැ. ඉරුණොත් මහගෙන පොරවනවා මිසක්.


අපේ සිවුරුවල මැහුම් පාරවල් ඕන තරම් ඔබට දකින්න පුලුවන් කම තියෙන්නෙ අන්න ඒ නිසා.


දැනටමත් අවු 05ක් එක දිගට රැයක් දවාලක් නැති ව කරපු වැඩ ටික සැලකුවා ම ඕනනම් දැන්‍, කිසිම වැඩක් නො කර පාඩුවේ ⁣පැත්තකට වෙලා ජීවත් වෙන්න පුලුවන් තරම් මිනිස්සුත් අපි හම්බකරලා තියෙනවා.


ඒකට අවශ්‍ය පහසුකම් සපයා ගන්නත් අපිට කිසිම අමාරුවක් වත් බැරිකමක් වත් නැහැ.


ඔය 'අපේ දානේ කාලා කරන දේවල්' කියලා බෙරිහන් දෙන කිසිම කෙනෙක් ගෙන් අපි දාන වේලක් වත් වළඳලත් නෑ.


දීලා තියෙන කෙනෙක් ඉල්ලුවොත් වළඳපුවා‍, වමාරාලා දෙන්න බැරි නිසා ඕන නම් ගිය වියදම පියවලා දෙන්න අපිට බැරි කමකුත් නෑ.


👉 ඉතින් හාමුදුරුවරු මේවා කරන්නේ මහන්සිවෙලා හම්බ කරලා ද ? කියලායි ඒ කොල්ලා මගෙන් අන්තිමට ඇහුවේ.


මම මොකද්ද මේකට කියන්න ඕන. මේ විෂය දැනුම හදාගන්නම අවුරුදු 04ක් විතර ගල් ගුහාවල් වලට වෙලා, අධ්‍යනය කරලා තියෙනවා. මහන්සි වෙලා නැද්ද ?


ඔය කියපු බාහිර දැනුම හදාගන්න, 04 වසර වගේ ඉඳන් අපේ ජීවිත අපි විවිධ පාඨමාලා, විවිධ විෂය පද්ධති වල මෙහයවලා තියෙනවා. ඉතින් අපි මහන්සි වෙලා නැද්ද ?


මිනිස්සු මේවා අපෙන් අහන්නේ, අපෙන් ඉල්ලන්නේ, ලක්ෂ ගාණක Subscribers ලා ඉන්න Youtube අපිට තියෙන්නේ අපි නිකම් ඉඳලා නිසා ද ?


උපාධියක් අරගෙන පඩියක් අරන් ඒක මදි වෙලා අපිට රැව්වා කියලා, ජීවිතය සමනය වෙන්නෙ නැහැ. ලෝකේ උපාධියට වඩා ගොඩක් ලොකුයි. දුවන පැත්තට කාසියක් තියලා බලන්න. උපාධියක් නැතිවත් ජීවත් වෙන්න පුලුවන් ක්‍රමයක් ලැබෙයි.


නැති කමට හෝ බැරි කමට අපි යන එන වාහානයක් දිහා බලලා එරෙව්වට ඔබට වාහාන පාත් වෙන්නෙත් නැහැ, අපේ වාහාන අතුරුදහන් වෙන්නෙත් නැහැ.


මොකද, අපිට අවශ්‍ය දෙයක් ලං කරගන්න එක තාම අපිට එච්චර ලොකු දෙයක් නො වන නිසාත්‍, දැනුම කාටත් හොරකම් කරන්න පුලුවන් එකක් නො වන නිසාත්..


මෙහෙ නැතත් විදේශ රටකට හරි ගිහින් ජීවත් වෙන්න අවශ්‍ය Visa‍, Passport පිරෙනකම් ම ඒ රටවල් වලින් අපිට දීලා තියෙන්නේ අන්න ඒ නිසා.


නැතිව පන්සලට වෙල⁣ා නිකම් හිටපු නිසා නෙවෙයි.


එනිසා ආණ්ඩුවක් රට හදනකම් ම බලන් ඉන්නැතිව, තමන් ගේ තත්වය දියුණු කරන්න. එතකොට තෙල් ගණන් ගිය වෙලාවක බෝඩ් එකක් අරන් උද්ඝෝෂණය කරන්න පාරට යන්නැතිව, කියන ගාණ දීලා තෙල් ගහගෙන එන්න පුලුවන් ආර්ථිකයක් ඔබට හැදිලා තියේවි.


මොකද අපේ ජීවිත කාලයත් ඒ තරම් ම දිග එකක් නො වන නිසා..


👉 එතකොට හාමුදුරුවනේ ඔය ඔක්කොම කරලා නිවන් දකින්න වෙලාවක් තියෙනවා ද ?


ජීවිතය ජීවත් වෙන එකයි, ජීවිතය තේරුම් ගන්න එකයි කියන්නෙ එකම කාසියක දෙපැත්තක්. තමන් ගේ තත්වය අනුව ජීවත් වෙන්න. විවේකීව අර්ථය කල්පනා කරලා බලලා මනසින් අතහැරලා දාන්න.


එතකොට ඔබට කන්න බොන්නත් තියේවි. අනවශ්‍ය තැන් වල මුලා වෙලා ලබන නො සන්සුන් ජීවිතයත් නැති වෙලා තියේවි. ඒක ම නිවනට පාර වේවි.


ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ සම්මා දිට්ඨි කියන වචනය විතරක් නෙවෙයි‍, සම්මා කම්මන්ත‍, සම්මා ආජීව වගේ ඒවත් තියෙන්නෙ අන්න ඒ නිසයි.


ලිපිය කියලා අවශ්‍ය දෙයක් තිබ්බොත් ගන්න.


ඔබට තෙරුවන් සරණ වේවා !


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 06.04.2024

bottom of page