top of page

මේක ටිකක් අමුතු විදියට ලියපු මාතෘකාවක්..


නමුත් මේ කරුණ සම්බන්ධව සෑහෙන වාද විවාද සමාජයේ නිතර පැන නගින නිසා මේ ගැන සැදැහැති පිරිස දැන ගත යුතු ප්‍රමාණයත්, අනිත් අයට දිය යුතු පණිවිඩයත් මේ ලිපිය අස්සේ ලියලා තියන්නම්..


නිතර මතවාදයට තුඩු දෙන කාරණා ටිකක් පේන්න තියෙනවා..


01. චෛත්‍යය සෑදීම.

02. දකින දකින කන්දක් උඩ චෛත්‍යය සෑදීම.

03. අමුද්‍රව්‍යය එකතු කිරීමට Facebook වැනි සමාජ ජාලා ඔස්සේ කරන ශ්‍රමණ සාරුප්‍යය නො වන දැනුවත් කිරීම්.


මේ කරුණු එකින් එක විස්තර කරලා තියන්නම්..


👉 01. චෛත්‍යය සෑදීම.


මේකට සමාජ ජාල මහාචාර්යවරුන් ගේ අදහස නම් චෛත්‍යය කියන්නේ බුදුදහම නෙවෙයි, හාමුදුරුවරු චෛත්‍යය හද හද ඉන්න එකේ, මිනිස්සුන් ගේ හිත් හදන්න මහන්සි වෙන්න ඕන කියලා..


ඔය කියපු කාරණා දෙකෙන් එකක් හරි, එකක් වැරදියි.


ඇත්ත, හාමුදුරුවරුවරු මිනිස්සුන් ගේ හිත් හදන්න මහන්සි විය යුතු යි තමයි. ඒක සත්‍යයක්. ඉතින් ඒක කරන ඕන තරම් හාමුදුරුවරුත් ඉන්නවානෙ. දැකලා නැද්ද ?


How Sad 😕 ටිකක් හොයලා බලන්න. ආස හිතෙයි 😍


හැබැයි චෛත්‍යය කියන්නේ බුදු දහම නෙවෙයි, ඒවා හද හද ඉන්න ඕන නෑ කියලා කියන එක ඒ අයගේ තියෙන ශ්‍රද්ධාවේ මදිකමක්.


බුද්ධ දර්ශනය ඇතුලේ, සංකේතාත්මක දේවල් තිබීමත්, ඒවා වන්දනා කිරීමත් වැරදි කරුණු නෙවෙයි. නැත්තන් බුදුහාමුදුරුවො ධාතුන් වහන්සේ ලා ශේෂ කරන්න දෙයක් නෑ. අළු කරගෙන ම පිරිනිවන් පාන්න තිබ්බානේ.


එතකොට ධාතුන් වහන්සේලා තියෙන තැන් වල ශාරීරික ධාතුන් වහන්සේලා හෝ පාරිභෝගික ධාතුන් වහන්සේලා උදෙසා චෛත්‍යය කිරීම සිද්ධ කරනවා. ශාරීරික ධාතුන් වහන්සේලා නැති තැන, උදේදේසික චෛත්‍යයන් නිර්මාණය වෙනවා.


මේ ගැන ඕන තරම් බුදුදහමේ කරුණු සඳහන් වෙනවා.


එනිසා මේ සමාජ මාධ්‍යය අස්සේ ටයි කෝට් දාගෙන කියන බණ ඔක්කොම සාධු කියලා පිළිගන්න එපා. බුදු දහම චෛත්‍යයන් හා බැඳිලා තියෙන, මිනිස්සුන්ට යහපත උදාකරන කරුණක්. ඒකට බය වෙන්නත් එපා.


බුදු දහම පවතින රටක, බුදු දහමේ මිනිස්සු හැසිරෙන තැනක චෛත්‍යයක් තිබීම ඉතා සුන්දර, වටිනාකමක් ගෙන දෙන, සංසාරය සුවපත් කරවන්නක්.


👉 ඊළඟ ප්‍රශ්ණය – හාමුදුරුවනේ දැන් චෛත්‍යය ඇති නේද ? හැම තැන ම තියෙනවා නේ.


ඕකට උත්තරය මෙහෙමයි පින්වත්නි. අපිට නම් ඇති. ඔබට ඇති නම් නවත්තගන්න. පුද්ගලිකව මම අද වන තුරු චෛත්‍ය්‍යක් නිර්මාණය කරන්න මූලික වෙලා නැහැ. ඇත්තටම මට වෙලාවක් නැහැ. මම ඊට වඩා පුද්ගලිකව විවේකීව ශාසනයේ පිළිවෙත් පුරන්න කැමැතියි. චෛත්‍යය කර්මාන්තයක් කරනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙවෙයි.


කාලය සෑහෙන්න ගතවෙනවා. වියදම් පියවගන්න මිනිස්සු එක්ක හැප්පෙන්න වෙනවා. ශ්‍රමය වුණත් සෑහෙන්න කැපකරන්න වෙනවා.


ඒ නිසා අඩු ම මං දැන් ඉන්න සේනාසනයේ වත් චෛත්‍යයක් නිර්මාණය කරලා නැහැ. ඇත්තටම හාමුදුරුවො ටිකට වැඩ ඉන්න කුටි ටිකයි, බණ අහන්න එන මිනිස්සුන්ට නො තෙමී, නො වේලී ඉන්න ධර්ම ශාලාවයි‍, භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරන්න පිළිම වහන්සේයි‍, පිළිවෙතින් ඉතා ම සරු සංඝයා වහන්සේලායි හැරුණාම අපේ සෙනසුන් වල වෙන වෙන විශේෂත්ව නැහැ..


මේ ඔක්කොට ම වඩා මං පුද්ගලිකව විවේකීව අභිධර්ම පිටකය වගේ එකක් කියවගෙන ඉන්න කැමැතියි. බුදුහාමුදුරුවො ජීවමාන ව වැඩ හිටියත් මට බනින එකක් නැහැ. වඩා වැදගත් පරියප්තියත්, ප්‍රතිපත්තියත්, ප්‍රතිවේධයත් බව මේ බුද්ධ ශාසනයේ ම කියවෙලා තියනෙ නිසා..


හැබැයි මෙහෙමයි. හදන කවුරු හරි දැක්කොත්, ගඩොලක් හරි පූජා කරගන්න නම් මං අමතක කරන්නෙ නැහැ. සිමෙන්ති, කම්බි, ගඩොල් විතරක් නෙවෙයි, සමහර හදන මහා සෑයන් වලට අපි අත් උදව් පවා ගිහි කල දීලා තියෙනවා. මහණ වෙලා ඒකේ ගැලපීම ටිකක් අඩු නිසා ඉතා ම අප්‍රසිද්ධියේ කරන්න දෙයක් හම්බුණොත් කරනවා මිසක්, චෛත්‍යය හදන ගමන් Live එහෙම දෙන්න එන්නෙ නම් නැහැ.


එනිසා ඉතින් ඕකට උත්තරය, ඔබට අමාරුනම් හදන්න එපා. පුලුවන් නම් හදන්න. හැබැයි නාගන්න එපා.. තියෙනවා නම් උපකාර කරන්න අමතක කරන්නත් එපා. බැරි නම් අත්‍යාවශයත් නැහැ.


මොකද පිරිනිවී වැඩි භාග්‍යවතුන් වහන්සේව වන්දනා මාන කරගන්න අපිට වෙන විදියක් ඇත්තේ නැති නිසා. පරලෝ සැපත් ගුණවතුන්ට ගරු කිරීමේ ශිෂ්ඨ චාරිත්‍රය භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ලද්දක් නෙවෙයි. පිළිගත්ත එකක්.


එනිසා ගර්හා කරන්න කලින් දෙපාරක් හිතන්න. පහත කථාව ඒකට උපකාරී වෙයි.


👉 ලකුණ්ඨක භද්දිය හිමි මිටි වී ඉපදීමට හේතුව


මෙම හිමියන් රහතන් වහන්සේ නමකි. නමුදු බොහෝ මිටි බැවින් බොහෝ නො හික්මුණන් ගේ කෙළි කවටකම් සමච්චල් කිරීම් ආදියට ලක් වූහ. තථාගතයන් වහන්සේ දිනක් මේ හිමි මිටිවී ඉපදීමට හේතුව වදාළ සේක. පෙර කාශ්‍යප බුදු සසුනේ මහත් ධන පරිත්‍යාගයක් කොට බොහෝ දෙනා එකතුව කරන්න ගිය චෛත්‍යය පින්කම, මෙතුමා මැදිහත්ව පින්කම කුඩාවට කරවී ය. යොදුන් හතකට හදන්න සූදානම් වූ චෛත්‍යය යොදුනකට කිරීමට යෝජනා කළේ ය. ඒ හේතුවෙන් මෙසේ බලන්නට අප්‍රසන්න ලෙස නින්දාවට සුදුසු සේ මිටි වී ඉපදුනු බව වදාළ සේක. එබැවින් සත්පුරුෂයෙනි, අනුන්ගේ පින්කම් බාල නො කරත්වා.


(අපදාන පාළිය 541 වන අපදානය)


👉 02. දකින දකින කන්දක් උඩ චෛත්‍යය සෑදීම.


ඇත්තටම මේක හරි ම මෝඩ තර්කයක්. එහෙම දකින දකින කඳු උඩ චෛත්‍යය හදන්න අපිට රටේ බෑ නේ. යම් ඉඩමක නීත්‍යානුකූල අයිතිය තියෙන කෙනා කැමතී නම්, ඒ ඉඩමේ චෛත්‍යයක් නෙවෙයි, කනත්තක් හැදුවත් අපිට මුකුත් කියන්න බෑ.


සඟ සතු කොට පූජා කරපු ඉඩම් මේ රටේ තියෙනවා.. ඒ සංඝයාට විතරක් නෙවෙයි, වඳින පුදන මිනිස්සුන්ගෙත් පරිභෝගයට. දැන් ශ්‍රි පාදය ගන්න. ඕක පුද්ගලික තැනක් නෙවෙයි නේ. කී දාහක් ගිහින් වැඳලා එන තැනක් ද ?


අනිත් කඳු ඉතින් ඉඩම නීත්‍යානුකූලව තියෙනවා නම්, ඉදිකිරීමට අවසර අරන් තියෙනවා නම්, මොනා හැදුවත් කාටත් මොක ද ?


තමන් ගේ වත්තේ කොල ටික අතුගාගන්න බැරි උන්දැලා,‍ අනුන් ගේ වතු වල ඕපාදූප බලන එක ඉතින් අපේ ජාතියේ ජානමය බැඳීමක් එක්ක තියෙන කතන්දරයක්. අනුකම්පා තමයි කරන්න ඕන..


👉 03. අමුද්‍රව්‍යය එකතු කිරීමට Facebook වැනි සමාජ ජාලා ඔස්සේ කරන ශ්‍රමණ සාරුප්‍යය නො වන දැනුවත් කිරීම්.


මෙන්න මේකට නම් මං සම්පූර්ණයෙන් එකඟයි. හාමුදුරුවරු යම් කර්මාන්තයක් කරනවානම්, මුලින් තමන්ට ඒක පුලුවන් ශක්තියක් තියෙනවාද කියලා බලන්න ඕන.


Facebook එක ඒකට හොඳ මාධ්‍යයක් තමයි. හැබැයි ඇවිත් දාඩිය පෙරාගෙන, සිමෙන්ති නාගෙන වැලපිලා, නාහෙන් අඬලා, භූතයො වගේ වීඩියෝ අස්සෙන් සැරෙන් සැරේ මතුවෙලා කරන නාඩගම් නම්, මිනිස්සුන් ගේ බැනීමට ලක් වෙන එක නවත්තන්න බැහැ.


හාමුදුරුවරු මේවා කරන්න ඕන විදියක් තියෙනවා. ශ්‍රමණ සාරුප්‍යය බවක් තියෙන්න ඕන. ගිහි සංවිධාන කමිටුවක් දාගෙන, ඒ අය හරහා මේක සමාජ ගත කරන්න ඕන.


ඉල්ලීම කියන්නේ හාමුදුරුවරුන්ට නරක ම දෙයක්. මොකට ඉල්ලුවත් ඒක නරකයි. බේතක් හේතක් ගන්න වුවමණා වුණත්, පාත්තරය අරගෙන ගිහින් බලන් ඉන්න කිව්වා මිසක්, නාහෙන් අඬලා ඉල්ලන ගතියක් බුද්ධ පුත්‍රයන්ට නැහැ.


අද නම් Facebook එක විකාරයක් වෙලා. කන්න නැහැ කියලා අඬනවා සමහර හාමුදුරුවරු. ආපු කරන්ට් බිල දාන්නේ Facebook එකට. පොඩි හාමුදුරුවො පෙන්නගෙන විකුණන් කනවා ඇතැම්මු. සමහරු පොත් පත් බෙදන න්‍යායෙන් සල්ලි එකතු කරන එකක් පේන්න තියෙනවා.


මේවා සියල්ල වැරදියි. අඩුම ශාසනාවතරණයවත් මහණ වෙන්න කලින් කියවලා තියෙනවා නම් ඒකේ සඳහන් වෙනවා මෙහෙම දෙයක්.


"ඉල්ලීම ඉතා ලාමක ක්‍රියාවකි. එය ජනයා ගේ අප්‍ර‍සාදයටත් බලවත් හේතුවකි. මිනිසුන් ධනය සපයන්නේ ඉතා අමාරුවෙනි. බොහෝ දුක් විඳිමිනි. එය ඔවුන් කරන්නේ අනුන්ට දීමට නොව තම තමන්ගේ අමාරුකම නැති කර ගැනීම පිණිස ය.


අමාරුවෙන් ධනය සපයන මිනිසුන්ට පෙනෙන්නේ ඉල්ලන තැනැත්තා සතුරකු ලෙස ය. ඉල්ලන තැනැත්තා ඔවුන්ට ඉතා ම අප්‍රිය ය. එබැවින් පැවිද්දන් විසින් හැකි තාක් ඉල්ලීමෙන් වැළකිය යුතු ය. කැමැත්තෙන් අනුන් දෙන දෙයක් පමණක් පිළිගත යුතු ය.”


“න වේ යාචන්ති සප්පඤ්ඤා ධීරෝ වේදිතු මරහති,

උද්දිස්ස අරියා තිට්ඨනත් ඒසා අරියාන යාචනා.”


තේරුම:


“ප්‍රාඥයෝ නො ඉල්ලන්නාහ. ආර්‍ය්‍යයෝ උදෙසා සිටින්නාහ. නුවණැතියන් විසින් එය දැන ගන්නට වටනේ ය. ඒ උදෙසා සිටීම ආර්‍ය්‍යයන්ගේ ඉල්ලීම ය” යනුයි.


මේවා වත් කියවලා නැතිව මහණ වෙලා, සමාජය යන රැල්ලෙ යන්න පටන් ගත්තාම හරියට මහණ කම කරන්න අමාරුයි..

අපි ඒකයි කලින් ම කිව්වේ ඔය ලොකු ලොකු ප්‍රසිද්ධ හාමුදුරුවරුන්ට මේවා වැරදියි කියලා. නරක පූර්වාදර්ශ දෙන්න එපා කියලා.


දැන් ඒවා දිහා බලන් ඉඳලා, අලුත් මහණ වෙන හැම හාමුදුරුවො කෙනෙක් ගේ ම හීනය චෛත්‍යයක් හදන එක, ගෙයක් හදලා දෙන එක, පොත් ටිකක් බෙදන එක වෙලා.


අපිත් පොත් බෙදනවා. මිනිස්සුන්ට උදව් කරනවා. හැබැයි සංයමයක් ඇතිව. පිළිවෙලක් ඇති ව. අපිත් එක්ක හිතවත් මිනිස්සු කිහිප දෙනෙක් ලඟ තියාගෙන, ඒ අයගේ පරිත්‍යාග ශක්තියෙන්.


ඒ නිසා මේවා කරද්දි හාමුදුරුවරු පරිස්සම් වෙන්න ඕන.


ඔය හාමුදුරුවන් ගේ පැත්ත.


ඕවාට හෑලි ලියන මහාචාර්ය වරුන්ටත් දෙයක් කියන්න ඕන.


ඔහේලා මේක කරන්නෙත් කීයක් හරි හොයාගන්න කියලා අපිට තේරෙනවා. Views ටිකක් අරන්, ඇඩ් එකක් දාලා, පුද්ගලික පන්තියට ළමයි ටිකක් අද්දවගෙන, සමාජ අවධානය Maintain කරන්න නම්, ඉඳලා හිටලා මේ වගේ දෙයක් එහෙම දාන්න ඔබලාට තියෙන අයිතියට අපි ගරු කරනවා.


ඔහේලා ඔය කියන තරම් බෞද්ධයො නම්, අර අච්චර රෑ එළිවෙනකම් බණ කියන හාමුදුරු කෙනෙක් ගේ බණ එකක් තියෙන දවසට Page එකෙන් Post එකක් දාලා දෙනවලකො.


බණ ටිකක් අහන්න ගිහින් ඒක Live එකක් තමුන්ලාගේ පේජ් හරහා මිනිස්සුන්ලාට දෙනවලකො.


ධර්ම ශාලා, දහම් පාසල් ශාලා නැති පන්සල් ටික මං කියන්නම්. තමුන්ලා ගේ ඔය හොඳ බෞද්ධ කම නළලේ ගාගෙන, පේජ් වල පෝස්ට් ටිකක් දාලා ඒවා සමාජ ගත කරනවලකො.


බණ කියන හාමුදුරුවො කෙනෙක් ගේ බණක්, දෙකක් පේජ් වල Share කරලා මිනිස්සුන්ට බණ ටිකක් අස්සවනවලකො.


අපි ඔය ඕන තරම් බණ කියලා දාන්නේ. රේඩියෝ වල, ටීවි වල. දානවලකො එහෙම ටිකක් පේජ් වල.


මේ වගේ එකක් දෙකක් අල්ලගෙන, හැම හාමුදුරුවො කෙනෙක් ම එක ම ගාණට දාලා, අපිට එපා වෙලා තියෙන්නේ වගේ එකක් සමාජ ගත කරන්න දඟලන දැඟලිල්ලේ ම ජෙරම් ගේ ලක්ෂ තුනේ ගඩොල් ගැනත් වීඩියෝවක් දාලා, අක්කර ගාණක ඉඩම් අල්ලගෙන තියෙන තේවත්ත වැනි තැන් ගැනත් වීඩියො ටිකක් දානවලකො.


ගමින් ගමට බෞද්ධයො මුලා කරවන්, සල්ලි දීලා ආගම් වලට හරවගන්න යන ව්‍යාජ කඳුලවල් ගැනත් ලියලා දානවලකො.


ඒවා කරන්න කොන්දක් නෑ නේද ? මොකද හේතුව හාමුදුරුවරු අල්ලගත්තාම ලේසියි. අරුන් එක්ක බේරෙන්න බෑනේ. හාමුදුරුවරු ඕවා පස්සෙන් පන්නන් එන්නෑනේ.


එනිසා මට අන්තිමට ඒ හෑලි මහාචාර්යවරු ටිකට කියන්න තියෙන්නේ,


"අනුන් ගේ දේවල් හොයන්නැතිව, තමන් ගේ වැඩක් බලාගෙන ඉන්නවලා" කියලා තමයි.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 03.04.2024

bottom of page