top of page

"ආනන්ද මේ විශාලාව බොහෝම රමණීයයි. මේ තථාගතයාණන් වහන්සේ විශාලාව දකින අවසන් වතාවයි"..

පන්සාළිස් වසරක් පුරා ලෝකාර්ථ චර්යාවේ කය මෙහෙය වූ භාග්‍යවතුන් වහන්සේ ක්‍රමයෙන් අසූ වැනි වියට පත් විය. තමන් ගේ රූප කයට විශ්‍රාම දීමට සුදුසු ම කාලය එළඹ ඇතැයි දත් භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කුසිනාරාව බලා නික්මෙන්නට ගමන් ආරම්භ කළ සේක.


විශාලාවේ සීමා මායිම් වෙත පැමිණ නැවත එක් වතාවක් දෙව් ලොව අසිරිය ඇති විශාලා මහ නුවර දෙස නාගාවලෝකනයෙන් බැලූ අප මහා කාරුණිකයාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා


"ආනන්ද මේ විශාලාව බොහෝම රමණීයයි. මේ තථාගතයාණන් වහන්සේ විශාලාව දකින අවසන් වතාවයි"


යනුවෙන් පවසා නැවත පරිනිර්වාණ මංචකය වෙත ගමන් ඇරඹු සේක. එම ගමන කෙළවර කුසිනාරාවේ දී මහා වීරයාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ සේක.


එයින් වර්ෂ 236ක් පමණ ගත වෙන තැන ධර්මාශෝක රජු විසින් මේ නාගාවලෝකනය කළ ස්ථානයට පැමිණි අතර, මහ රහත් මුණිවරුන් ගෙන් මේ ප්‍රවෘත්තිය අසා හැඬු කඳුලින් යුක්ත ව ඉතා විශාල සංවේගයකට පත් විය.


සංවේගයට පත් ඒ නිරිඳු විසින් මේ ස්ථානයේ අශෝක ස්ථම්භයක් ඉදි කරන ලදි.


තනි සිංහයෙක් පමණක් යොදා සිදු කළ මේ ස්ථම්භය අශෝක ස්ථම්භ අතර බරින් වැඩි ම ස්ථම්භය යැයි කියනු ලැබේ. අදටත් කිසිදු පළුද්දත් නො මැතිව පවතින එකම අශෝක ස්ථම්භය ද මෙය ම වේ.


අශෝක ස්ථම්භයේ ඉහළ ම වාඩි වී සිටිනා සිංහ රජු මුහුණ ලා බලා සිටින්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ කුසිනාරාව දෙස ය.


සිංහයෙක් වූ වත් කිසිදු සිංහ තේජසක් නො මැතිව නෙලා ඇති සිංහ රජු ගේ ප්‍රතිමාව හඬන සුළු දෙනෙතකින් යුක්තව කුසිනාරාව දෙස බලා සිටින්නේ භාග්‍යවතුන් ⁣වහන්සේ වැඩම කළ අවසන් ගමන දෙස විය යුතු ය.


නමුත් මේ රූපය කියවන මා පසක් කරගත්තේ මේ ඉරියවු වලින් පිළිබිඹු වන එම සිංහයා ගේ සිත ය. එය සිංහයාගේ ම භාෂාවෙන් මෙසේ විය යුතු ය.


"මගේ භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලකට පෙර විශාලාවෙන් මේ⁣ දෙසට නික්මුණි. තවම ආවේ නම් නැත. නැවත කවදා මෙහි මගේ බුදු පියාණන් වඩී දෝ !"


ඔහු ළය නැති සිංහයෙක් නිසා තවමත් බලා සිටී. ළය ඇති සිංහයෙකු වී පරිනිර්වාණය ඇසුවේ නම්, ළය පැලී ඔහුත් එදා ම මියදෙනු ඇති.


ළය නැති ඔහු දෙස බලා සිටීමටත් අපහසු බැවින් මා ද විශාලාවෙන් ඉක්මණින් නික්මී ආවෙමි.


 Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 05.01.2024

bottom of page