Sujatha Puthra Meditation Center
Your Membership ID
හැමෝම උත්සව ශ්‍රීයෙන් කලබල කාලයක ඉන්න නිසා, දේශනා ගොඩක් නැති විවේකී දවස් කීපයක් ලැබුණා.
ඒ අවසරයෙන් බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් ශුද්ධ භූමියක් බවට පත් වෙච්ච, තථාගතයාණන් වහන්සේ ධර්ම චාරිකාවේ වැඩම කළ, ඉපදුණු, බුදුවුණු, දම්සක් දේශනා කළ, පරිනිර්වාණය කළ, වැඩ වාසය කළ, බුද්ධ චරිතයේ විවිධ සිද්ධි දාමයන් හා බැඳිච්ච ඒ ලස්සන පින් බිම ජීවිතයේ දෙවන වතාවටත් වන්දනා කරලා, දැක බලා ගෙන එන්න කියලා කල්පනා කළා.
වර්ෂ අවසානය සම්මුතියක්. එහි ආරම්භයත් සම්මුතියක්.
හැබැයි මොකක් හෝ නිසා ලැබෙන විවේකය පස්සද්ධියක් ☺️
සම්මුතියේ, සමාජය තමන් ගේ හීන හැබෑ කරගන්න, සමාජයේ උසස් යැයි පෙන්වන දේවල් ලබා ගන්න තමන් ගේ චරිතය මරා ගන්නවා.
මේ සම්මුති වසරේ වත් ඔය වරද නො කර ඉන්න. දේවල් ඇති වෙනවා, නැති වෙනවා ඒ තමයි ලෝකය.
එනිසා ලෝකයේ ඇති නැති වෙන දේවල් සමබර කරගන්න තමන් ගේ චරිතය මරාගන්න එපා. මොකද චරිතය මරාගෙන මොන දේ ලබා ගත්තත් වැඩක් නැහැ. ලැබෙන දේ විඳගන්න තමන් ගේ Original තමන් ව එතන ලැබුණෙ නැත්තන්.
තමන් ගේ චරිතය මරා ගන්නැතිව වසර අවසානය බලන්න. හිමි අහිමි වූ දේවල් වෙනදා වගේ ම වෙනසක් නැතිව තියේවි. නමුත් තමන් කියන කෙනාව පිරිසිදුව, ආත්ම චෝදනාවලින් තොරව තමන්ට ලැබිලා තියේවි.
තමන් ගේ ජීවිතය කියන එක තමන්ට ලැබෙන්නෙ එතන. අනික් සියල්ල ඒ ජීවිතය පහසු කරවන්න ලඟා කරගන්න දේවල් විතරයි.
ජීවත් වෙලා බලන්න. පරමාර්ථය ඒ අස්සෙන් ලස්සනට අහුවේවි. සමාජයට වටිනාකම් නොදී තමන් ගේ චරිතය උපකාරී කරන්, සමාජයෙන් මිදිලා යන්න ඔබට පුළුවන් කම ලැබේවි.
මොකද හැමදාම ඔබ කළේ සමාජයට වටිනාකම් දීලා, සමාජයට ඕන විදියට, ඕන ඕන තැන්වලට ඔබ යොමුවෙච්ච එක. ඔබව මරාගෙන..
එතනදි ඔබට සමාජය ම හම්බවුණත්, ඔබට ඔබව නැති වෙන්නැති.
✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero
Date: 31.12.2023