top of page

ඇතැමකුගේ කාය සමාචාර ශාන්ත ය. වත් පිළිවෙත් කරන කල ඒ බව සියල්ලන්ට දැනගත හැකි ය. එහෙත් ඔහුගේ වාක්-මනස් සමාචාර අශාන්ත ය. අශාන්ත වූ ඒ වාක් - මනස් සමාචාර නො සිතා ශාන්ත වූ කායසමාචාර ම සිතිය යුතු ය. ඇතැමකු ගේ වාක් සමාචාර ශාන්ත ය. ඒ බව සියල්ලන් අතර ප්‍ර‍සිද්ධ ය. හේ ස්වභාවයෙන් ම පිළිසඳර කථායෙහි දක්‍ෂ ය. මෘදු ප්‍රිය වචන ඇත්තේ ය. මෙරමා සතුටු කරන්නේ ය. නිතර මුහුණ ප්‍රීති සහගත ය. කිසිවකු එළඹි විට තෙමේම පළමු වැ කථා උපදවයි. පරිපූර්‍ණ පද ව්‍යඤ්ජනයෙන් මධුර ස්වර නඟා දහම් දෙසන්නේ ය. එහෙත් ඔහුගේ කාය මනස් සමාචාර අශාන්ත ය. ඒ අශාන්ත කායමනස් සමාචාර නො සිතා ශාන්ත වාක්-සමාචාර ම සිතිය යුතු ය. ඇතැමකුගේ මනස්සමාචාර ශාන්ත ය. ඒ බව ඔහුගේ සෑ වැඳුම් ආදියෙහි දී සියල්ලන්ට දැනැ ගත හැකි ය. නො සන්සුන් සිත් ඇතියකු සෑ හෝ බෝ හෝ තෙරුන් හෝ වඳනා කල සකස් වැ නො වඳින්නේ ය. බණ අසන කල වික්‍ෂිප්ත වැ හෝ නිදි කිරමින් හෝ ඉන්නේ ය. සන්සුන් සිත් ඇතියා වඳනා කල කල්පනා සහිත වැ සකසා වඳින්නේ ය. කන් නමා අරුත් සලකා අන්තර් ජනිත ප්‍රීතිය කයින් හෝ වචනයෙන් හෝ ප්‍ර‍කාශ කරමින් අසන්නේ ය. එහෙත් ඔහු ගේ කාය - වාක් සමාචාර අශාන්ත ය. ඒ අශාන්ත කාය - වාක් සමාචාර නො සිතා ශාන්ත මනස්සමාචාරය ම සිතිය යුතු ය.


ඇතැමකුගේ මේ ත්‍රිවිධ සමාචාර ම අශාන්ත ය. එකකු දු ශාන්ත නැත එබන්දා කෙරෙහි ‘මේ අද මිනිස් වෙසින් හැසිරෙතත් ස්වල්ප දිනෙකින් අට මහ නිරා සොළොස් ඔසුපත් නිරා පුරන්නේ ය’යි කරුණා උපදවිය යුතු ය. කරුණාව නිසා ක්‍රෝධය සන්සිඳෙන්නේ ය.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 29.07.2022


bottom of page