top of page

උපෝසථ කර්මය හෙවත් පාමොක් දෙසීම..

උපෝසථ යන වචනය ශාසනික ව්‍යවහාරයට පැමිණීමට ප‍්‍රථම භාරතීය බ‍්‍රාහ්මණ සමාජය හා වෙනත් ආගමික පිරිස් අතර භාවිතයට ගැණුනකි. එහි බ‍්‍රාහ්මණයෝ විශේෂයෙන් ම භාරතීය සමාජයේ පූජකයෝ වූහ. සමාජයේ ආගමික අවශ්‍යතාවන් ප‍්‍රධාන වශයෙන් සපුරා දුන්නෝ බ‍්‍රාහ්මණයෝ ය. මුල් කාලීන වෛදික යුගයේ දී දෙවියන් උදෙසා පවත්වනු ලැබූ එකී යාගහෝමාදී අගමික කාර්‍යයන් ඉටු කිරීමට විශේෂ දින නියමයක් නො තිබූ අතර ඕනෑ ම දිනයක පැවත්විය හැකි චාම් සරල යාග පූජා ක‍්‍රම වෛදික යුගය තුළ පැවතුණු බව භාරතීය ආගමික ඉතිහාසය තුළින් පිළිබිඹු වේ.


නමුත් කල් යත් ම ඇති වුණු යාගයේ සංකීර්ණත්වය නිසාත්, භාරතීය ජන කොට්ඨාසයන් මුහුණ දුන් ආර්ථික රටාව සහා ජීවන ක‍්‍රමය ආදී කරුණු බලපෑමෙන් සමාජීය අවශ්‍යතා බහුලවීම නිසාත් ආගමික කටයුතු සඳහා ජනයාගේ පහසුව සඳහා ඔවුනට දින නියමයක් අවශ්‍ය විය. මේ නිසා පූජකයන්ගේ ද අනුගාමිකයන්ගේ ද පහසුව සලකා සමාජීය ආගමික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා උපොසථ නමින් දින වෙන් කර ගැනිණි. බුදු සමය ලොව පහළ වන විට චාතුද්දසී, පණ්ණරසී හා අට්ඨමී යන දින තුන එම සමාජය තුළ ආගමික කටයුතු ඉටු වන උපොසථ දින නමින් සම්මත වී තිබුණු බව මහා වග්ග පාලියෙන් දැකිය හැකි වේ. මේ දිනවල වෙනත් කටයුතු හැර ආගමික කටයුතු සඳහා නැඹුරු වන භාරතීයයෝ ස්වකීය ආගමික සිද්ධස්ථාන වෙත ගොස් ඒ ඒ අනුශාසකවරුන්ගේ අනුශාසනා වලට සවන් දීමටත් ඒ අනුව ආගමානුකූලව හැසිරීමටත් පුරුදුව සිටියහ.


බුදු සමය ලොව පහළ වී බෞද්ධ දර්ශනය ලොව විහිදී යමින් බෞද්ධ ආරාම, විහාරාදිය භාරතය තුළ ඇතිවත්ම මේ නව දර්ශනය පිළිබඳ අවබෝධයක් ලබනු කැමැත්තෝ එම බෞද්ධ ආරාමාදිය වෙත ද ගියහ. උපෝසථ දිනයන්හි කළ යුතු විශේෂ ආගමික ක‍්‍රමවේදයක් ඒ වන විට භික්‍ෂුන් සතුව නො වූ බැවින් නිහඬව තැන් තැන් වලට වී භාවනායෝගීව වැඩ සිටි භික්‍ෂූන් දැක ඒ පැමිණෙන්නවුන් තමන්ට හුරු පුරුදු ක‍්‍රමවේදය එහි නොදැක භික්‍ෂූන් කෙරෙහි අප‍්‍රසාදය දක්වමින් පෙරලා ගියහ. ඒ නිසා අන් ශාස්තෘවරු පක්‍ෂබල ලැබුවේ ය. මෙයින් බුදු සමයේ ව්‍යාප්තියට ඇති බාධාවත් ඒ නිසාම සත්‍ය දර්ශනය තුළ ලැබිය හැකි සැනසීමත් අහිමිවන මිනිසුනුත් දුටු බිම්බිසාර රජු ගේ යාචනය මත පොහෝ දින වල ආරාම තුළ රැස් වන ලෙසත් පැමිණෙන්නවුන්ට දහම් දෙසන ලෙසත් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට අනුදැන වදාළ සේක. ඉන්පසු නැවත භාග්‍යවතුන් වහන්සේ විසින් එම උපෝසථ දිනය සංඝ සමාජය කෙරෙහි වඩාත් ප‍්‍රතිඵලදායක දිනයක් කරනු වස් භික්‍ෂූන් වහන්සේලාගේ ආයති සංවරයට ඉවහල් වූ ත්, සංඝ සමාජය තුළ සමගියට උපකාර වූ ත් ක‍්‍රියා මාර්ගයකට භික්‍ෂූන් වහන්සේලා ව නතු කරමින් පශ්චිම ජනයාගේ හිත සුව පිණිස වූ විමුක්තිදායී බුදු සමයේ චිරජීවනය පිණිස හේතුවන භික්‍ෂුවගේ විනය ගරුක භාවය සුරකීමටත්, උන්වහන්සේ ගේ විමුක්ති සාධනය පිණිස සෘජු ලෙස ම හේතුවන්නා වූ ත් ‘ප‍්‍රාතිමෝක්‍ෂය’ උදෙසීමට අනුදැන වදාළ සේක. ප්‍රාතිමෝක්ෂය දේශණා කරනවා යනු භික්ෂුන් වහන්සේලාට ඇති විනය නීති පද්ධතියේ ප්‍රධාන සික පද 227 නැවත ආවර්ජනය කිරීමයි. එකින් එක සික පද දේශණා කර භික්ෂුන් වහන්සේලාගෙන් පිරිසිදුදැයි ඇසීම මෙය දේශණා කරන අවස්ථාවේදී සිදු වෙයි.. (සරල සංසිද්ධිය) එය ද යට කී පොහොය තුනෙන් අට්ඨමි දින හැර අඩමසකට වරක් පැමිණෙන චාතුද්දසී, පණ්ණරසී යන දෙදින තුළ පමණක් උදෙසිය යුතු බව ද, එය ම භික්‍ෂූන් වහන්සේලා ගේ උපෝසථකර්මය හෙවත් පාමොක් දෙසීම නම් වන බවත් දේශණා කොට වදාළ සේක.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

Date: 14.08.2018

bottom of page