top of page

දෙවෙනි ධර්ම සංගායනාවට තුඩු දුන් විශාලා මහනුවර සංඝ සමාජය..

දෙවැනි ධර්ම සංගායනාවට තුඩු දුන් භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවීමෙන් වසර සියයකට පසු විශාලා නුවර සංඝ සමාජය.


විශාලා මහනුවර පුරාම දක්නට ලැබුණේ අපිත් ශාක්‍යපුත්‍රයන් යැයි කියාගෙන උදම් අනන භික්ෂුන් වහන්සේලා පිරිසකි. ඔවුන් වජ්ජිපුත්‍රක භික්‍ෂුන් නමින් හැඳින්වුණි. පිරිස් සංඛ්‍යාව වශයෙන් දස දහසක් පමණ වූහ. භාග්‍යවතුන් වහන්සේ විසින් පණවන ලද ශික්ෂා පද තමන්ට රකිනු බැරිවූයේ එය සාධාරණීකරණය කරනු වස් මේ මේ දේවල් කැපයැයි භික්‍ෂුන් වහන්සේලාට කිසිසේත් නො කැප දේවල් දහයක් ප්‍රධාන කොට කැපයැයි සමාජයට පෙන්වන ලදි.


ඒ කරුණු දහය අතර භික්‍ෂුවට මිළ මුදල්, රන් රිදී කැප ය යන කරුණ ශ්‍රමණ ශාක්‍යපුත්‍රව සැබවින්ම සිල් රැකි භික්‍ෂුන් වහන්සේලාගේ සුමට ප්‍රතිපදාවට වැදි මරු පහරක් මෙන් විය.


“පින්වත්නි, සල්ලි වලින්, රන් රිදී වලින් සංඝයාට වැඩ ඇත. ඔය ජලයෙන් පුරවා ඇති රන්බඳුනටම ඒ මුදල් පූජා කරගනිත්වා..” නිතර නිතර වජ්ජිපුත්‍රකයන්ගේ මුවින් පිට වූ අඳෝනාව එය විය.


එකළ මහ රහත් භාවට පත්ව සිටි ‘කාකණ්ඩ පූත්‍ර වූ යස මහ රහතන් වහන්සේ’ ඒ වන විට එම වජ්ජීන්ගේ ජනපදයේ හැසිරෙමින් සිටියේ ය. මේ සිදුවීම සියැසින් දුටුවේ ය.


“පින්වත්නි, සල්ලි, රන් රිදී කිසිසේත් සංඝයාට කැප නැත. ශාක්‍යපුත්‍ර ශ්‍රමණ භාවයට පත් වූ එවැනි අකැප පිරිකර කිසිසේත් නො පිළිගනිත්. උන්වහන්සේලා ඒවා බහා තබා ඇත. පූජා නො කරත්වා” යි සඟ මැද ම දේශණා කළ සේක.


නමුත් විශාලා වැසි ජනතාවට මේ බණ අමුත්තක් වූහ. ඒ දේශණා පාඨය ගණනට නො ගත්තේ ය. පුරුදු පරිදිම වජ්ජිපුත්‍රකයන්ට මුදල්, රන් රිදී පූජා කර සතුටු වූවේ ය.


වජ්ජිපුත්‍රකයන් රාත්‍රී කාලයේ දී ලැබූ රන් රිදී කොටස් ඉන්න භික්‍ෂුන් වහන්සේලා සංඛ්‍යාව ගැණ, ඉන්නා ගණනට සමානව කොටස් කර තැබුවේ ය. යස මහ රහතන් වහන්සේගේ කොටස ද අයින් කර තිබුණි.


“ඇවැත්නි යස, නුඹේ කොටසත් අයින් කළෙමි. පරිහරණය කරත්වා” යස මහ රහතන් වහන්සේට පවසන ලදි.


“ඇවත්නි, මට ලැබුණු හෝ මට ඇවැසි රන් කොටස් නැත. මා විසින් කිසිදු රන් රිදී මුදලක් ඉවසුවේ නැත”යි යන්න යස මහ රහතන් වහන්සේගේ එකම පිළිතුර විය.


යස මහ රහතන් වහන්සේගේ සෘජු පිළිතුරෙන් කෝප වූ වජ්ජිපුත්‍රකයෝ අනිත් භික්‍ෂුන් වහන්සේලා දෙසට හැරී “මේ යස තෙරුන් පැහැදුණු උපාසකයන්ට ආක්‍රෝශ කරයි. පරිභව කරයි. එය අපගේ උපාසකයන්ගේ නො පැහැදීම පිණිස වෙයි. මොහුට අපි පටිසාරණීය කර්මය කරමු" යැයි එම විනය කර්මය කළහ.


මේ පටිසාරණීය කර්මය යනු ගිහි-පැවිදි සම්බන්ධය බිඳුණු විටක එය නැවත සමගි සම්පන්න භාවයට ගෙන ඒම පිණිස කරනු ලබන විනය කර්මයකි. යම් භික්‍ෂුවක් ගිහියෙක්ට ආක්‍රා්ශ පරිභව නින්දා අපහස කරත් නම්, ඒ භික්‍ෂුව ගිහියා වෙත ගොස් කමා කරවා ගැනීම පිණිස සංඝයා විසින් මෙම විනය කර්මය පණවනු ලැබේ.


විනය කර්මය සුවිශුද්ධව සිදු නො වුණද විනය ගෞරවයෙන් ද, අදාළ අධිකරණය හෙවත් ගැටලුව මතු කර ගෙන මෙම අධර්ම මතය බිඳීම ස්වකීය අධිෂ්ඨානය ද කරගත් මහ තෙරුන් වහන්සේ සංඝයාගෙන් අනුදූතයෙකු ද ඉල්ලාගෙන එම අනුදූත භික්‍ෂුව සමග විශාලා නුවරට පිවිසියේ ය.


එහි දී උන්වහන්සේ නුවරදි උපාසකයන් දකින්නේ මෙසේ කීහ. “පින්වත්නි, මම අධර්මය අධර්මය යැයි කීවෙමි. ධර්මය ධර්මය යැයි කීවෙමි. අවිනය අවිනය යැයි කීවෙමි. විනය විනය යැයි කීවෙමි. මොවුන් මට එසේ කීම උපාසකයන්ගේ අපැහැදීම පිණිස වන්නේය යැයි කියත්.


පින්වත්නි, හිරු සඳු දෙදෙනාට බැබලීමට මීදුම බාධාවක් වන්නේ යම් සේ ද, දුම හා දූවිලි බාධාවක් වන්නේ යම් සේ ද එලෙසින්ම මේ සසුනෙහි පමණක් නොව, ඕනෑම සසුනක මේ රන් රිදී පිළිගැනීම තමන්ගේ සසුන් කිසට බාධාවක්ම වෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කොට ඇත.


මම ද එයම කීවෙමි. එය කියන මට මොවුන් ඔබව අපහදවනවා යැයි පටිසාරණීය කර්මය ද කළේ ය.


මම ධර්මයම කීවෙමි. විනයම කීවෙමි.


මෙහි තවත් කරුණකි. පින්වත්නි, දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ මණිචූලක ගාමීණි නැමැති උපසාකයාගේ වස්ථුවේ ද ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන්ට රන් රිදී නො කැපය. උන්වහන්සේලා ඒවා නො ඉවසති යනුවෙන් කී කරුණ සාධු නදින් අනුමත කළේ ය. එහිදී යමෙකුට රන් රිදී පිළිගැනීම කැප මහණහුට පඤ්චකාම ගුණයෝම කැප බවත් යමෙක් පඤ්චකාම ගුණයෝ කැප යැයි ගනිත් ද, ඔහුට මහණකම නැත්තේ ය යන බවත් දේශනා කළ සේක.


තවද අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් රන් රිදී පිළිගැනීම වළකා උපනන්ද ශාක්‍ය පුත්‍රයා අරඹයා ශික්‍ෂාපදයක් ද පණවා වදාළ සේක.”


යස මහරහතන් වහන්සේගේ මේ කරුණු විග්‍රහයෙන් කාරණා තේරුම් ගත් විශාලා වාසීන් විසින් “ස්වාමීනී ඔබවහන්සේම බුදු පුතෙක් වෙයි. අනිත් අය ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් නො වෙත්ම ය. ඔබ වහන්සේ මේ විශාලාවේම වැඩ වසත්වා. අප විසින් ඔබවහන්සේට අවශ්‍ය සිවුපසය ගෙන උපස්ථාන කරන්නෙමු” යැයි කීවේ ය.


අනුදූත භික්‍ෂුව කිපුණේ ය. ඉක්මණින් ගොස් වජ්ජ්පුත්‍රකයන්ට මෙසේ කීවේ ය.


“ස්වාමීනි, මේ යස තෙරුන් උපාසකයන් මැද අපේ වැරදිම කිව්වේ ය. අපිව හළා දැම්මේ ය. විශාලා වැසියන්ට අපේ අඩුපාඩු කීවේ ය. අපිව ප්‍රතික්‍ෂේප කරවූයේ යැ”යි සිහි කළේ ය.


මේ කථාව ඇසූ වජ්ජිපුත්‍රකයන් විසින් නො සන්සුන් විය. “ඇවත්නි, මේ කාකණ්ඩ පුත්‍ර යස තෙරුන් වහන්සේ විසින් සංඝයාගේ වැරදි කීවේ යැයි උක්ඛේපනීය කර්මය කිරීමට වටින බව පැවසුවේ ය.


එය ධර්ම කර්මයක් වශයෙන් නොව අධර්ම කර්මයක් වශයෙන් සිදු වෙන කර්මයක් නිසා

 මේ විනය කර්ම සිදු කරන තාක් යස තෙරුන් වහන්සේ ඉවසා සිටියේ නැත.


සත්‍ය වශයෙන්ම උක්ඛේපනීය කර්මය කළ යුතුව තිබුණේ ආචාර විපත් වූ ඇවැත් ඇති එම භික්‍ෂුන් වහන්සේලාට ය. යස මහ තෙරුන් වහන්සේ සංඝයාගේ ගුණයක්ම මිස අගුණයක් කියා නැත. එය වජ්ජිපුත්‍රකයන්ගේ නම් අගුණයක් ලෙස උවැසි උවැසියන් දකින්නට ඇත. එසේ ඇවත නැති කල්හි අස්ථානයේ කරන ලද උක්ඛේපනීය විනය කර්ම අධර්ම කර්මයකි.

එනිසා විනය කර්මය කිරීමට අධර්මවාදී භික්‍ෂු පිරිස රැස් වනවාත් සමගම යස තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ඉර්ධියෙන් අහසට පැණ නැගී කොසඹෑ නුවරට වැඩි සේක.


කොසඹෑ නුවරට වැඩි මහ තෙරුන් වහන්සේ මේ අධිකරණය අත්හැර දැමීමට සිතුවේ නැත. ඒ මුරණ්ඩුකමකට හෝ නො දැනුවත්කමකට නොව, බුදු පුතෙක් ලෙස පැවරුණු වගකීම කරන්නට ය. වහ වහාම ‘පාවා’ නුවර වාසී භීක්‍ෂුන්ට ද, ‘අවන්ති දක්ක්‍ෂිනාපථ’ වාසි භික්‍ෂුන්ට ද පණිවිඩකරුවෙකු මගින් “අධර්මය අවිනය බැබළීමට පෙර, අධර්මවාදීන් අවිනයවාදීන් බලවත් වීමට පෙර ගරු කටයුතු මහා සංඝරත්නය පැමිණෙත්වා.. පැණ නැගී ඇති සංඝධිකරණය විසඳන්නෙමු”යි පණිවිඩයක් යැව්වේ ය.


මෙලෙස පණිවිඩ යවා ඒ කාලය වන විට ‘අහෝගඩ්ග’ පර්වතයෙහි වැඩ සිටි ‘සාණවාසී සම්භූත’ මහ රහත් උතුමන් වහන්සේ ලඟට යස මහ තෙරුන් වහන්සේ වැඩි සේක. මේ සම්භූත තෙරුන් වහන්සේ වනාහී භාග්‍යවතුන් වහන්සේව සියැසින් දැක ඇති ආනන්ද මහ උතුමන් වහන්සේගෙන්ධර්ම විනය හැදෑරු උතුමන් වහන්සේ නමක් ය. යස මහ රහතන් වහන්සේගේ ගුරුවරයා වූයේ ද ආනන්ද මහ උතුමන් වහන්සේම ය. සම්භූත මහ රහතන් වහන්සේට සිදු වු සියලු සිදුවීම දන්වා “අධර්ම අවිනය වාදීන් බලවත්ව ධර්ම විනය වාදීන් දුබල වීමට පළමු අපි විසින් මේ අධිකරණය විසඳමු”යි සිහිපත් කළහ.


ඉන් අනතුරුව පාවා නුවරින් වැඩි මහ රහත් උතුමන් වහන්සේලා හැට නමක් ද, දක්‍ෂිණපථ වාසී මහ රහත් උතුමන් වහන්සේලා අසූ නමක් ද අහෝගඩ්ග පර්වතයට රැස් වුණහ. සියලු උතුමන් වහන්සේලා ධූතාංගධර මහ රහත් උතුමන් වහන්සේලාම විය.


අනතුරුව මේ ප්‍රශ්ණය පිළිබඳව සාකච්ඡා කරන මේ උතුමන් වහන්සේලාට මේ ගැටලුව සිතන තරම් ලේසි පහසු එකක් නොවන එකක් බව සුලු වේලාවක් තුල දී පසක් වූවේ ය. සිල් පදය ආචාර විපත් ගණයෙහි වූවත් එයින් වන ප්‍රතිපත්ති හානියත්, එම ගැටලුව ගෙන ආ පිරිසද චණ්ඩ ගති පැවතුම් වලින් යුක්ත අයත් නිසා මේ ගැටලුව විසඳීමට වඩා බලවත් විය යුතු බව උන්වහන්සේලා සිතූහ. කෙසේ නම් එසේ බලවත් විය හැකිදැයි පිරික්සන විට ධර්මධර වූ විනයධර වූ ශික්‍ෂාකාමී වූ අභිධර්ම පිටකය ද මාතෘකා වශයෙන් ධාරණය කරගෙන ඇති සෝර්‍යෙය නගරයේ වැඩ වසන ‘රේවත’ මහරහතන් වහන්සේව සිහි විය. උන්වහන්සේවත් මෙයට සම්බන්ධ කර ගත යුතු යැයි සිතුවේ ය. එයින් අපේ බලය තවත් තහවුරු වන බව සිතූහ.


මේ කරන ලද සාකච්ඡාව සෝර්‍යෙය නගරයේ වැඩ විසූ රේවත මහ රහතන් වහන්සේට දිව්‍ය ශෝත්‍රයෙන් ඇසුණු සේක. මේ ගැටලුව ගැන තතු මනාව දැක මේ වැනි අධිකරණයකදී පසුබැසීම මා වැන්නෙක් විසින් කළ යුත්තක් නොවන බව සිතා “ඉදින් පිරිස මා සොයාගෙන ආවොත් එය මට අපහසුවක්ම වන්නේ ය. එබැවින් මමම පෙර ගමන් යන්නේ යැ”යි සිතා එම නගරයෙන් පිට වී සංකස්සය, කණ්ණකුජ්ජ, උදුම්බර නුවර, අග්ගළපුර හරහා සහජාතිපුරය දක්වා වැඩියේ ය.


මේ උතුමන් වහන්සේව සොයාගෙන එන ථෙරවාදී සඟ පිරිස ඒ ගමන් මගේම තතු පිරික්සමින් ඇවිත් සහජාති පුරයේ දී මහ තෙරුන් වහන්සේව හමු විය. හමුවන විට මහ තෙරුන් වහන්සේ තමන්ගේ සරභඤ්ඤ හෙවත් මිහිරි හඬින් ධර්මය දේශණා කරන අතවැසි භික්‍ෂුවකට ධර්මය හදාරවමින් සිටියේ ය. සාණාවසී සම්භූත තෙරුන් වහන්සේම කථාවට මුල පිරූ සේක.


“ඇවැත්නි, ඔබ වහන්සේ මනා සේ ධර්මය දන්නා කෙනෙක් ය. එක ප්‍රශ්ණයක් ඇසූ විටක එකම උත්තරයකින් රැය පහන් කිරීමට හැකි තරම් ධර්ම ඥාණයකින් යුතු ය. අපට අසන්නට විනය කරුණු  දහයක් ඇත. ඔබ වහන්සේගේ මේ ධර්මය ඉගැන්වීමෙන් අනතුරුව අප විසින් එය අසන්නෙමු”


ධර්මය උගන්වා අවසානයේ නැවත කථා බහට මුල පුරන ලද්දේ ය. වජ්ජිපුත්‍රකයන් විසින් කැපැයි කී සියල්ල රේවත මහ තෙරුන් දන්වන ලදි. ඒ සියල්ල අකැපයැයි මහ තෙරුන් වහන්සේ ප්‍රති පිළිතුරු දෙන ලදි. “එසේ නම් මෙය විසඳිය යුතුයැ”යි මහ තෙරුන් එකඟ කරවා ගෙන අධිකරණය විසඳන්නට කටයුතු සූදානම්  කරගනිමින් සිටියේ ය.


මේ අතර වජ්ජිපුත්‍රකයන් තමන්ගේ දෑස් ඉස්සරහ අහසට පැණ නැගී අතුරුදන් වූ යස තෙරුන් වහන්සේ කුමක් කරන්නේදැයි සෙවිල්ලෙන් පසුවිය. මේ අධිකරණය විසඳීමට බලවත් වෙමින් සිටිතියි ලැබුණු ආරංචිය මත වහ වහාම මේ වජ්ජිපුත්‍රකයන් ද ක්‍රියාත්මක වීමට ආරම්භ කළේ ය. කාගේ බලයක් ලැබ මෙයින් වඩා බලවත් වන්නේදැයි කල්පනා කළ ඔවුන්ටත් එකවරම සිහිපත් වූයේ මේ රේවත මහ තෙරුන් වහන්සේව ය. වහා ම සහජාතපුරයට ඔවුන් ද වැඩම කළහ.


තෙරුන් වහන්සේට පගාව වශයෙන් පරිෂ්කාර රාශියක් ද ගෙන තෙරුන් වහන්සේ සමීපයට පැමිණියහ.


“අවසරයි ස්වාමීනි, අපි ඔබවහන්සේට බොහෝ කුදු මහත් පිරිකර ගෙනාවෙමු. ඒවා පිළිගන්නා සේක්වා”


“ඇවත්නි, මාගේ පා සිවුරු පරිපූර්ණය. මා හට පරිෂ්කාර වලින් අඩුවක් නැත්තේයැ”යි මහ තෙරුන් වහන්සේ ඒවා ප්‍රතික්‍ෂේප කළ සේක.


වජ්ජිපත්‍රකයන් උත්සහය අත්හැරියේම නැත. රේවත තෙරුන් වහන්සේගේ උපස්ථායක වු ‘උත්තර‘ භික්‍ෂුව සමීපයට ගියේ ය. චාටු බස් දොඩමින් උත්තර භික්‍ෂුවව රැවටුවේ ය. ඔවුන්ගේ කථාවේ නිමක් නැති බව උත්තර භික්‍ෂුව බේරෙන්න බැරිම තැන “විය යුත්තේ කුමක්දැයි” විමසුවේ ය.


“ස්වාමීනී, ඔබ වහන්සේගේ ගුරු හිමියන්ට මේ ටික විතරක් පවසනු මැනවි. බුදුවරු පහළ වන්නේ පෙරදිග ය. එනිසා පෙරදිගවැසි භික්‍ෂුහු නිතරම ධර්මවාදී ය. පාවා නුවර වැසි භික්‍ෂුහු අධර්මවාදී ය. මේ කරුණ විතරක් සඟ මැද කියන්නට එකඟ කරවා දෙනු මැනවි”යි කීවේය.


මේ කරුණ උත්තර භික්‍ෂුව විසින් මහ තෙරුන් වහන්සේට සැළ කරන ලදුව “මහණ, නුඹ විසින් මා අධර්මයෙහි යොදවන්නට තැත් කරන්නේ යැ” යි පවසමින් තමන්ගේ ශිෂ්‍ය භාවයෙන් පවා ඉවත් කළහ.


අනතුරුව කරුණ තේරුම් ගත් උත්තර භික්‍ෂුව වජ්ජිපුත්‍රකයන් සමීපයට ගොස් තමන් කළ වරද ගැන පසුතැවෙන්නේ “ඇවැත්නි, අප විසින් ළාමක දෙයක් කරන ලදි” යැයි පැවසුවේ ය.


මේ අතර ඒ වන විට හුදකළාවේ වැඩ සිටි සාළ්හ මහ තෙරුන් වහන්සේ ද මේ සිදුවීම සිතින් පිරිසිඳ දකින්නේ “මා ද මේ ගැන විමසීමක් කළහොත් ධර්ම මතයම කියන්නේ යැ”යි සිතුවේ ය. මෙසේ ක්‍රමයෙන් ධර්මවාදී පක්‍ෂය බළවත් වූයේ අධිකරණය විනිශ්චය කිරීමට සංඝයා රැස් විය. සියලු දෙනා වහන්සේලා මේ අධිකරණය විසඳීමට එය මුලින් පැණ නැගුණු විශාලා නුවරටම වැඩි සේක.


එසේ යන අතරේම ඒ වන විට මේ මුලු පොළෝ තලයේහි වෘද්ධිමත්ම භික්‍ෂුව බවට පත් ව සිටි ‘සබ්බකාමී’ මහ තෙරුන් වහන්සේ ලඟට ද රේවත මහ තෙරුන් එළඹ මේ පවත් දන්වා සිටියේ ය. මේ සබ්බකාමී තෙරුන් වහන්සේට එකල වන විට වස් පමණක් 120කි. ආසන්න වශයෙන් සම්පූර්ණ වයස අවුරදු 140ක් වත් උන් වහන්සේට ගෙවී තිබුණි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීද ගත ව තිබුණේ වසර සියයක් පමණි. මේ තෙරුන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේව සියැසින් දැක තිබුණේ ආනන්ද මහ තෙරුන් වහන්සේ සමීපයෙහිම ධර්ම විනය හැදෑරූ උතුමන් වහන්සේ නමක් ය.


දෙනම වහන්සේලා අතර සිදු වූ ධර්ම කථාවකින් අනතුරුව පැමිණි කාරණය රේවත මහ තෙරුන් වහන්සේ විසින් සැල කරන ලදි. මේ මහ තෙරුන් වහන්සේව ද එකඟ කරවා ගෙන විශාලා නුවර අදාළ ස්ථානය වෙත එළඹෙන කල එතැන විශාල සංඝ සන්නිපාතයකි. මහ රහතන් වහන්සේලා ලක්‍ෂ 12ක පමණ පිරිසක් එතැන එකතු වී තිබුණි. අධර්මවාදී වූ වජ්ජිපුත්‍රකයන්ගේ පිරිස වූයේ 10,000ක් පමණි.


මහා පිරිසක් මැද අවශ්‍ය කථාව මතු කර ගැනීමට නොහැකි බැවින් මහ තෙරුන් වහන්සේලා විසින් ‘සබ්බකාමී, සාළ්හ, ඛුජ්ජසෝභිත, වාසභගාමික, රේවත, සම්භූත, යස සහ සුමන’ යන මහ තෙරුන් වහන්සේලා මුල් කරගෙන භිකෂුන් වහන්සේලා සත් සියයක එකතුවෙන් පැණනැගුණු විනය අධිකරණය සමථයකට පත් කරන ලදි. සංඝයා විසින් අදාළ අධිකරණයේ ධර්මය කුමක් ද? විනය කුමක් ද? යන්න සම්මුතියට එළඹෙන ලදි. නැවත ගිළිහෙමින් තිබූ ධර්ම විනය සංඝ සම්මුතියෙන් සංගායනා කරන ලදි. සත් සියයක් භික්‍ෂුන් වහන්සේලාගේ එකතුවෙන් කරන ලද මේ සංගායනාව එහෙයින්ම ‘සත්තසතික’යන නම් ලබන ලදි.


බුදු පුතුන් ස්වකීය වගකීම මනාව ඉටු කරන ලදි.


මේ මූලිකත්වය ගත් අට නමක් වූ මහ රහත් උතුමන් වහන්සේලා අතර සුමන සහ වාසභගාමික යන මහ උතුමන් වහන්සේලා අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ සමීපයෙහිම ධර්ම විනය උගත් උතුමන් වහන්සේලා ය. සෙසු සය නමක් වූ මහ රහත් උතුමන් වහන්සේලාම ආනන්ද මහ රහත්උතුමන් වහන්සේගේම සමීපයෙහි ධර්ම විනය උගත්තේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සියැසින් දුටු උතුමන් වහන්සේලා ය.


තමන් වහන්සේලා රහත් භාවයට පත් වූයේ ද, අයුක්තිය, අවිනය, අධර්මය දැක සිංහ රාජයන් මෙන් ධර්ම විනය කරුණු නැවත කැටි කොට සංඝාඥාව විහිදුවන ලදි. එයින්ම ධර්මස්කන්ධයෝ අද වන තෙක් පැවතගෙන එන ලදි.


ඒ වැනි උත්තම බුදු පුතුන් වහන්සේලාට ද, ඒ වැනි උත්තම බුදු පුතුන් ලොවට වැදූ ලොව්තුරා ශ්‍රී සද්ධර්මයට ද, ඒ සද්ධර්මයේ ප්‍රභවය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ද අප විසින් සදා ණය ගැති ය.


උතුම් තුණුරුවනට අපගේ නමස්කාරය වේවා.


මූලාශ්‍රය - චුල්ලවග්ගපාලි, සත්තසතිකක්ඛන්ධකය.


✍ Author: Ven. Kirulapana Dhammawijaya Thero

bottom of page